තාරකා විද්‍යාව ද හරි ? ජෝතිෂ්‍ය විද්‍යාවද හරි ?✨

තාරකා විද්‍යාවට අනුව 2024 වසරේදී සූර්යා මීනයෙන් මේෂයට යන්නේ අප්‍රේල් 18-19 නම් ජෝතිෂ්‍යය විද්‍යාවට අනුව සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට යන එක අප්‍රේල් 13-14 යෙදිලා තියෙන්නේ ඇයි ?

මං මේක පැහැදිලි කරන්න හිතුවේ ගොඩක් අය සිංහල අවුරුදු කාලෙට උත්සන් එන තර්කයක් තමයි සූර්යා මීනයෙන් මේෂයට යන්නේ අප්‍රේල් 13-14 නෙමෙයි, තාරකා විද්‍යාවට අනුව ඒක වැරදියි කියලා කියන එක. 

ජෝතිෂ්‍යය විද්‍යාව ගොඩ නැගෙන්නේ පෘථිවි කේන්ද්‍රවාදී සංකල්පයක් ඔස්සේ. ඒ කියන්නේ පෘථිවියට සාපේක්ෂව අහස අධ්‍යනය කිරීමෙන්. ඒ අනුව සූර්යා කියන්නේ පෘථිවිය වටා යන වස්තුවක් විදියටයි නිරීක්ෂණය වෙන්නේ. දැන් ඒක වැරදිද ? අපොයි නැහැ.

ඒක තමයි සාපේක්ෂ චලිතය කියන්නේ. පෘථිවිය ඉර වටේ යනවා කිව්වත්,ඉර පෘථිවිය වටේ යනවා කිව්වත් දෙකම හරි. නිරීක්ෂණය අනුව තමයි තීරණය වෙන්නේ.  මේක තමයි මුලින්ම තේරුම් ගන්න ඕන කරුණ. 

එතකොට ජෝතිෂ්‍යය නිර්මාණය කරපු මිනිස්සු හිතන් හිටියෙත් ඉර ඇත්තටම පෘථිවිය වටේ යනවා කියලා ද ? නෑ...නෑ.. ඒගොල්ලො හොඳටම දැනන් හිටියා සූර්යාගේ සිට බලන කළ පෘථිවිය සූර්යා වටා ගමන් කරන බවත්, පෘතුවියේ සිට බලන විට සූර්යා පෘථිවිය වටා ගමන් කරන බවත් කියලා.

ඉර පෘථිවිය වටේ ගමන් කිරීමේ චලිතය වැටෙන්නේ ක්‍රාන්තිවලය නැත්තම් Ecliptic කියන මනක්කල්පිත රේඛාව හරහා.

හරි දැන් මෙතන ඉඳන් වචන කීපයක් යෙදෙනවා. මේවා නූතන තාරකා විද්‍යාවේ භාවිතයේ සහ ජෝතිෂ්‍යය තුළ භාවිතයේදී වෙනස්කම් තියෙනවා.නමුත් ගොඩක් දෙනා හිතන්නේ එකම අර්ථය දෙනවා කියලා....

🛑Constellation :- නූතන තාරකා විද්‍යාවට අනුව සාමාන්‍ය අදහස තරු රටා. IAU එක විසින් දැනට තාරකා 88 ක් හඳුනාගෙන තියෙනවා.ඒ වගේම constellation කියලා කියද්දී තරු රටාව හෝ ඒ තරු රටාවට අදාළ සීමාව කියන දෙකම අදහස් කරන්න පුළුවන්.1928 දී IAU එක විසින් මේ තරු රටා 88 ට අදාළ සීමා මායිම් අහසේ බෙදලා වෙන් කරලා තියෙනවා.

🛑Constellation boundaries :- මෙතනදි අපි ඩිරෙක්ට්ලි ආමන්ත්‍රණය කරන්නේ IAU විසින් 1928 දී සම්මත කරපු තරු රටාවේ සීමා වලට.

🛑Asterisms :- මේකත් තරු රටාම තමයි. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. Asterisms  කියන තාරකා රටා වලට IAU එකෙන් constellations වලට සීමා ලකුණු කරලා අහස බෙදලා දුන්න වගේ නිශ්චිත සීමා දීලා නෑ. ඒ නිසා මේ asterisms, Constellations විදියට හඳුනා ගන්නෙ නෑ.

හැබැයි මේ දෙකේම සරල සිංහල අර්ථය තරු රටා.නමුත් වෙනස වෙන්නේ IAU එකෙන් Asterisms වලට සීමා දීලා නැති එක සරලවම.

මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. මහා වලසා නොහොත් Ursa Major කියන constellation එකේම තාරකා 7 ක් එකතු වෙලා හැදෙන තවත් තරු රටවක් තියෙනවා. මේකට කියන්නේ "නගුල" නැත්තම් Big Dipper හෝ Plough කියලා. නමුත් IAU එකෙන් අහස බෙදලා සීමාවක් දීලා තියෙන්නේ මහා වලසාට පමණයි. එකේම අනු තරු රටාවක් වුණු නගුලට එහෙම බෙදලා දීලා නෑ. අන්න ඒ නගුල Asterisms  එකක්. තේරුම් ගන්න කොමෙන්ට් වල පින්තූරයක් දාන්නම්.මේ වගේ asterisms ගණනාවක් තියෙනවා. තේ පෝච්චිය, දකුණු කුරුසිය ඒවට උදාහරණ (5.රූපය)

කලින් කිව්ව ක්‍රාන්තිවල රේඛාව ( Ecliptic) හරහා තරු රටා (constellation) 13 ක් වැටිලා තියෙනව කියලා දැනට නූතන තාරකා විද්‍යාව සොයාගෙන තියෙනවා. 13 වැනි එක තමයි Ophiuchus තරු රටාව.

මට දැන් කියන්න ඕන නූතන තාරකා විද්‍යාවේ තරු රටා (constellations/Asterisms) සහ ජෝතිෂ්‍යය තුළ දැක්වෙන "රාශි" කියන්නේ පැහැදිලි කතන්දර 2 ක් කියන එක.

තරු රටා ( constellation/asterisms) සහ ජෝතිෂය තුළ කතාවෙන රාශි අතර වෙනස නොදන්න කම නිසා බොහෝ අය සෑහෙන කතන්දර ගොඩක් පටලවගෙන තියෙනවා. 2024 අලුත් අවුරුද්ද අප්රේල් 13-14 ද සහ අප්‍රේල් 18-19 ද කතාවටත් ප්‍රධාන හේතුවක් මේක. 

මේ වෙනකොට කලින් කීවා වගේම IAU එක විසින් තරු රටා 88 ක් හඳුනාගෙන තියෙනවා.  (Constellations) 88 ක් ද, 89 ක් ද කියන එක වෙනම කතාවක්. මේ තරු රටා 88 ම සීමා මායිම් ලකුණු කරලා දීලත් තියනවා 1928 වෙනකොට.

අපි ජෝතිෂ්‍යය තුළ අහලා තියෙනවා සූර්යා මීනේට යනවා,මේෂයට යනවා...කන්‍යා, තුලා, සිංහ වලට යනවා වගේ කතා ගොඩක්. මොනවද මේ ?මේ තමයි ජෝතිෂ්‍යය තුළ රාශි චක්‍රයේ විවිධ රාශි  හඳුන්වන නම්. 

රාශි චක්‍රය කියන්නේ මොකද්ද ? රාශි චක්‍රය කියන්නේ අපි පොළොවේ ඉඳන් අහස නිරීක්ෂණය කරනකොට. හිරු ගමන් කරන ක්‍රාන්ති වලය හරහා වැටෙන රවුමක්, බෙල්ට් එකක් කියා සරල අර්ථයෙන් ගන්නකෝ. මේකත් මනක්කල්පිත රවුමක්.

Zodiac නැත්තම් රාශි චක්‍රය හරහා නූතන තාරකා විද්‍යාවේ තරු රටා (constellations) 13 ක් වැටිලා තියෙනවා. එතකොට නූතන තාරකා විද්‍යාවේ දී ඔය Constellations 13 ට අදාළ සීමා විවිධ ආකාරයෙන් රාශි චක්‍රය තුල ඇතුළත් වෙලා තියෙනවා. අපි දන්නවා තරු රටා සමහර ඒව දිගයි, මහතයි, කොටයි. හැම තරු රටාවම එක සමාන සයිස් නෑ. ඒ නිසා මේ සීමා වලටත් (constellation boundaries) සමාන සීමා මායිම් නෑ. ඒ වගේම මේ සීමා මායිම් ලකුණු කරන්නේ මිනිසුන් හදාගත්තු නිර්ණායක යෙදූ සම්මුතියක් ඔස්සේ පමණයි.

අනිත් පැත්තෙන් ජෝතිෂ්‍ය තුළ රාශි චක්‍රයේ දී භාවිතා කරන්නේ තරු රටා 12 ක නම්. මේ නම් යොදලා තියෙන්නේ එක් එක් සීමා වලට හඳුනාගෙන පහසුවක් වෙනුවෙන්.

ජෝතිෂ්‍ය විද්‍යාව තුළ දී අහස කොටස් 12 කට බෙදුවා. ඇයි 12 කටම බෙදුවේ ? සමහර විට සූර්ය වර්ෂයකට මාස 12 ක් නිසා වෙන්නත් පුළුවන්. 

ඒ කොහොම වෙතත් ජෝතිෂයේ රාශි සහ තාරකා විද්‍යාවේ තරු රටා (constellations) කියන්නේ එකක් නෙමෙයි 2 ක්. මං ඒක පැහැදිලි කරන්නම්.

Constellations ගැන උඩ කියපු නිසා ආයේ අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ මං හිතන්නේ. 

ජෝතිෂයේ රාශි කියන්නේ Angles.සරලවම කිව්වොත් පිහිටුම පෙන්වන "කෝණ" වලට තමයි රාශි කියන්නේ. මේක තමයි දැනගන්න ඕන දෙවැනි කරුණ.

අහසේ රාශි චක්‍රය අංශක 360° ක වෘත්තයක්. මේ වෘත්තය අංශක 30° කොටස් 12 කට බෙදලා තමයි රාශි චක්‍රය ජෝතිෂයේ හදලා තියෙන්නේ. ඒ කියන්නේ අංශක 30° කෝණ 12 ක්. 

රාශි චක්‍රයේ කෝණ වලට දාලා තියන නම් 12 එන්නේ ක්‍රන්තිවලය හරහා වැටිලා තියෙන තරු රටා (constellations) වල නම් යොදාගෙන. 

කලින් කිව්ව දැන් ක්‍රන්තිවලය හරහා වැටෙන තරු රටා 13 ක් තියෙනවා කියලා. එහෙනම් ඇයි රාශි චක්‍රයේ  12 ක්. අයියෝ මෙතනදි ක්‍රාන්තිවලය හරහා තරු රටා 13 ක් නෙමේ, තරු රටා 1500 ක් තිබ්බත් අදාළ නෑ. එක තරු රටාවක්වත් නැති වුණත් අදාලම නෑ. රාශි චක්‍රය කියන්නේ කෝණ 12 ක් විතරයි. මේ කෝණ 12 එකම ආකාරයේ ජ්‍යාමිතික හැඩතල 12 ක්. 

ජෝතිෂ්‍යය කරලා තියෙන්නේ මේ කලාප 12 ට නම් දාලා තියන එක හඳුනා ගැනීමේ පහසුව තකා. ඒකට තරු රටා තිබ්බත් එකයි,නැතත් එකයි. මේක තමයි තේරුම් ගන්න ඕන අනිත් කරුණ.

එතකොට 2024 සිංහල අලුත් අවුරුද්ද උදාවෙන්නේ අප්‍රේල් 13-14 නම්, නූතන තාරකා විද්‍යාව අනුව සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට යන්නේ අප්‍රේල් 18-19 වෙන්නේ ඇයි ? 

ඕක තමයි ගොඩක් වෙලාවට ජෝතිෂ්‍යය සහ නැකත් පදනම බොරු, අලුත් අවුරුදු චාරිත්‍ර බොරු,මිත්‍යා කියලා කියන්න කියන ලොකුම කතාව. ඕකට සරලම පිළිතුර එහෙම කියන අයගේ නොදන්නාකම කියන එක.

මං කලින් කිව්ව IAU එකෙන් තරු රටා 88 ක් දැනට සම්මත කරලා තියෙනවා කියලා. 1928 දී මේ තරු රටා 88 ට විවිධ සීමාවන් ලකුණු කරලා දුන්නා. මේවාට කියන්නේ constellation boundaries කියලා. මේ එකක්වත් සමාන නෑ. සමහර තරු රටා දිගයි, සමහර ඒව කොටයි,පළලයි. මේ නිසා සීමා වෙනස්.

එතකොට IAU එක 1928 දී සම්මත කරගත්තු සීමා අනුව 2024 දී සූර්යා මීනට අදාල සීමාවෙන්, මේෂයට අදාල සීමාවට යන්නේ අප්රේල් 18. මං ඕක දාලා තියෙනවා රූපේ. සූර්යාගේ හරි අඩක් මේෂට අයත් සීමාවේදී කැපෙන තැන දළ වශයෙන් ගත්තාම තමා මේ අවුරුද්දේ අප්රේල් 18 රාත්‍රී 7.30 ට වගේ එන්නේ.

එතකොට ජෝතිෂ්‍යය තුළ මේ පාර අප්‍රේල් 13-14 සිංහල අවුරුද්ද සමරන්නේ ඇයි ? 

ජෝතිෂ්‍ය තුළ භාවිතා කරන්නේ 1928 දී IAU එකෙන් නිර්ණය කරපු දිග,කොට,පළල constellation boundaries නෙමෙයි.අනිත් එක ඔය constellation boundaries බෙදලා තියෙන්නේ කෝණ වලට නෙමෙයි. ඒකට වෙනම coordinate සිස්ටම් එකක් තියෙනවා සීමා ලකුණු කරන්න.

ජෝතිෂ්‍යට කලින් කිව්ව වගේ තරු රටා අදාලම නෑ. ජෝතිෂ්‍ය භාවිතා කරන්නේ කෝණ. මේ කෝණ වලට මීන,මේෂ, තුලා වගේ නම් දීලා තියන්නේ අංශක 30° න් වැඩි ප්‍රමාණයක් අහුවෙන ආසන්නම තරු රටාවේ නම යොදලා. ඒකට නමක් විතරයි තියෙන්නේ. ජෝතිෂ්‍ය නමම තාරකා විද්‍යාවේ තරු රටා සීමාවලටත් තිබ්බා කියන එකෙන් මේ දෙක එකක් වෙන්නේ නැහැ.

ජෝතිෂ්‍යය කෝණ සීමා අනුව 2024 දී අප්රේල් 13 හෝ 14 තමයි සූර්ය මීන රාශියෙන් මේෂ රාශියට යන්නේ. හොඳට මතක තියාගන්න සූර්යා මීන තරු රටාවේ constellation boundary එකෙන් මේෂ තරු රටාවේ constellation boundary එකට යනවා නෙමෙයි.... නෙමෙයි.....නෙමෙයි.....

තව දෙයක් කියන්න ඕන.

රාශි චක්‍රය ගොඩනැගෙන්නේ සුමේරියන්වරු අතින්. මේක වේදංග ජෝතිෂ්‍යට එකතු වෙලා පස්සේ දියුණු වෙලා දැන් අරහෙන් මෙහෙන් කෑලි  එකතු වෙලා, අඩු වෙලා අද තත්ත්වයට ඇවිත් තියෙනවා.

රාශි චක්‍රය අංශක 30° කෝණ 12 කට බෙදුව වගේම, අහස නැකැත් 27 කටත් බෙදලා තියෙනවා. ආචාර්ය නලින්ද සිල්වා කියන්නේ අහස නැකත් 27 කට බෙදුවේ සිංහලයෝ කියලා. ඒකට හේතුව විදිහට ඔහු සඳහන් කරන්නේ නක්ෂත්‍ර කියන වදනට සංස්කෘතෙන් නිරුක්ති නැහැ කියලා. මේකට යම් පදනමක් තියන තැනක ඉඳන් තමයි ඔහු ඒ අදහස ප්‍රකාශ කරන්නේ.

මේ එක් නැකතකට  අංශක 13° කලා 20' ක කෝණයක් අයිති වෙනවා. ඒක 27 වැඩි කළොත් 360° එනවා.

ඒ වගේම නැකතට අයත් අංශක 13° කලා 20' කෝණය තවත් කෝණ 4 කට බෙදලා තියෙනවා. මේවාට කියන්නේ පාද කියලා. පාදයක අංශක 3° කලා 20' ක් අයිති වෙනවා.

නැකැත් 27 ට මේ ආකාරයේ පාද 108 ක් තියෙනවා. මේ ගාන 3° 20' වැඩි කළොත් 360° එනවා.

නැකැත් 27 පාද 108 කට බෙදුවේ ඇයි කියන්න මම දන්නේ නෑ. හැබැයි:

            - පෘථිවියේ විෂ්කම්භය වගේ 108 ගුණයක විශ්කම්භයක් තමයි සූර්යාගේ විෂ්කම්භය (දළ වශයෙන්)

           - ඒ වගේම දළ වශයෙන් පෘථිවියේ සිට සූර්යාට ඇති දුර, සූර්යාගේ විෂ්කම්භය මෙන් 108 ගුණයක්.

           - පෘථිවියේ සිට චන්ද්‍රයාට (සඳට) ඇති දුර චන්ද්‍රයාගේ විෂ්කම්භය මෙන් 108 ගුණයක් (දළ වශයෙන්)

ඕනනම් ගණන් හදලා බලන්න ඉතාම ආසන්න අගයට එනවා. මං මෙතන කතාව සංකීර්ණ වෙන නිසා ගණනයන් දාන්න යන්නේ නැහැ.

සිංහල අලුත් අවුරුද්ද කියන එකේ නිරවද්‍ය මිනුම නම් සූර්යා රේවත නැකතින් අස්විද නැකතට ගමන් කිරීම බවයි ආචාර්ය නලින්ද සිල්වාගේ අදහස. මටත් ඒක නිවැරදි යැයි හැඟෙනව.

සාමාන්‍යයෙන් රවුමක ආරම්භයක් අවසානයක් පෙන්වන්න බැහැ. නමුත් අපිට පුළුවන් reference point එකක් අරන් මෙතැන් ඉඳන් ආයෙත් මෙතනටම ආ විට වෘත්තය සම්පූර්ණ කළා කියලා කියන්න.ඒ කියන්නේ 0° මෙතනයි කියලා අරන් ආපහු 0° ට එන තැන ගන්න.

එතකොට සිංහල අලුත් අවුරුද්ද කියන්නෙත් මීන රාශියෙන් මේෂ රාශියට යන එකද, රේවත නැකතින් අස්විද නැකතට යන එකද තීරණය වෙන්නේ අපි ගන්න reference point එක මත.

මේ reference point එක එක ජෝතිෂ්‍ය කණ්ඩායම් අතර වෙනස් වෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් ගන්න reference point එක තමයි කන්‍යා (Virgo) තරු රටාවේ පිහිටි Alpha Virginis (Spica) තාරකාව. ජෝතිෂ්‍ය තුළ මේක හඳුන්වන්නේ චිත්‍ර තරුව කියලා.

සූර්ය මීන රාශියෙන් මේෂ රාශියට ආ බව ගන්නේ හරියටම සූර්යා අංශක 180° ක් Alpha Virginis තරුවට ප්‍රතිවිරුද්ධව පිහිටන විට. මේක තමයි reference point  එක. මේක මත තමයි සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට හෝ රේවත නැකතින් අස්විද නැකතට සංක්‍රමණය වූ බව කියන්නේ. අර Constellations boundaries වලට අනුව නෙමෙයි. ආයෙත් කියනවා 1928 IAU සම්මත කරපු සීමා අනුව නෙමෙයි.

ඒ වගේම පෙරදිග වේදංග ජෝතිෂ්‍යය මුල්කරගෙන බිහි වූ ජෝතිෂ්‍යය වගේම බටහිර ජෝතිෂ්‍යයකුත් තියෙනවා. මේ දෙකේ වෙනස්කම් තියෙනවා.  මේක Sidereal සහ Tropical Astrology කියලා තමයි හඳුන්වන්නේ.

ඊළඟ දේ තමයි තවත් කෙනෙක් කියන්න පුළුවන් මාර්තු 21 තමයි අලුත් අවුරුද්ද එන්නේ කියලා.මේ වගේ කතාවක් වෙන්නේ යම් හැදෑරීමක් තියන කෙනෙක් අතින් විතරයි. අර කලින් කිව්ව වගේ අප්රේල් 18-19 සූර්යා මීනෙන් මේෂයට යනවා ඒ නිසා ජෝතිෂ්‍යය වැරදියි කියන සෙට් එකට මේ කතාව ගෙන්න තරම් අවබෝධයක් සාමාන්‍යයෙන් නෑ. 

මොකද බටහිර ජෝතිෂ්‍යයට (Tropical) මාර්තු 20-21 තමයි සූර්යා මේෂ රාශියේ අංශක 0° ට එන්නේ.ඒ ගොල්ලෝ මේකට ගන්න reference point එක වෙන්නේ සූර්යා ක්‍රන්තිවලය සමකය කැපිලා උතුරට ගමන් කරන්න යෙදෙන පොයින්ට් එක. ඒ කියන්නේ Spring Equinox එක එන තැන.බටහිර ජෝතිෂ්‍යය තුළ මේක ගන්නේ මේෂ රාශියේ 0° කියලා. දැන් පේනවනේ එයාලගේ reference point එක.

සැබෑවටම වැදගත් වන්නේ කලින් කියපු විදියටම අහසේ රවුමක බින්දුවේ ඉඳන් පටන් ගන්න තැනට සූර්ය නැවත එන තැන. මේ අංශක 0° බටහිර ජෝතිෂය ගන්නේ කොහොමද කියලා කිව්වා.

පෙරදිග ජෝතිෂ්‍යය තුළ මේකට reference point කීපයක් තියෙන්න පුළුවන්. වඩාත් ප්‍රචලිත කන්‍යා රාශියේ චිත්‍ර තරුව ගන්න එකනේ. ආයෙත් කියන්නම්.පෙරදිග ජෝතිෂ්‍යය අනුව සූර්ය මීන රාශියෙන් මේෂ රාශියට යන තැනට හරියටම අංශක 180° ක් එහා පැත්තෙන් තමයි චිත්‍ර තරුව පිහිටන්න ඕන. අන්න ඒ අවස්ථාව තමයි 0° පහුකිරීම නොහොත් අලුත් අවුරුද්ද උදා වීම සිදුවන්නේ.

ඊළඟ පැහැදිලි කිරීමට යන්න කලින් පෘතුවියේ චලිතයන් 3 ගැන චුට්ටක් පැහැදිලි කරන්නම්. දෙකක් නම් ඕගොල්ලෝ හොඳටම දන්නවා.

    1.භ්‍රමණය (Rotation) :- පෘථිවිය තම අක්ෂය වටා කැරකීම

    2.පරිභ්‍රමණය (Revolution) :- පෘථිවිය සූර්යා වට කැරකීම

    3.පූර්වයානය (Precession) :- පෘතුවිය තම අක්ෂය වටා කැරකෙද්දි  මේ අක්ෂයත් ගමන් කිරීමට ලක් වෙනවා. මේක හඳුන් වන්නේ wobble effect කියලා. පෘථිවියේ අක්ෂය රවුමක් කැරකැවීම තමයි සරලවම මේ කියන්නේ.

පෘතුවියේ පුර්වයනය නැත්තම් precession එක ගොඩක් අයට එකපාර තේරුම් ගන්න අමාරු ඇති. මේක බඹරයක් කැරකෙද්දී බලාගන්න පුළුවන්. මං රූපයක් දාන්නම්. එහෙමත් තෙරෙන් නැත්තම් යු ටියුබ් එකේ පොඩි ඇනිමේශන් වීඩියෝ තියෙනවා earth wobble effect හෝ precession of earth කියලා අවශ්‍ය නම් සර්ච් කරලා බලන්න හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙයි.

හරි දැන් මේ පෘථිවිගේ පූර්වයාන සංසිද්ධිය නිසා පෘතුවියේ අක්ෂය එක් තැනක සිට තවත් තැනක් දක්වා යන්න අවුරුදු 25,920 ක් විතර යනවා. එහෙම වෙන්නේ අංශක 1° ක් යන්න අවුරුදු 71.6 ක්, දළ වශයෙන් අවුරුදු 72 ක් යන නිසා අංශ්ක 360° ක් යන්න අවුරුදු දළ වශයෙන් 26,000 ක් ගත වෙනවා.

ආයේ අපේ කතාවට ආයේ එමු.

දැන් හිතෙනවා ඇති ඇයි Sidereal සහ Tropical කියලා ජෝතිෂ්‍යය දෙකක් තියෙන්නේ ඇයි කියලා.

එක් කාලයක මේ දෙකේම රාශි චක්‍ර දෙකම එකම මුලකින් පටන් ගත්තේ. ඒ කිව්වේ පෙරදිග ජෝතිෂ්‍යය මේෂ පටන් ගන්න තැනින්ම තමයි බටහිර ජෝතිෂයේ මේෂ පටන් ගත්තේත්. මේ අවුරුදු 1500 කට දෙදහකට වගේ උඩදී වෙච්ච සිද්ධියක්.

පෙරදිග ජෝතිෂය භාවිතා කරන්නේ අහසේ තරු ෆික්ස් කියලා අරගෙන. ඇත්තමට ෆික්ස් නෑ. නමුත් ආලෝක වර්ෂ ගණනාවක්  දුරස්ථ වස්තුන් අපේ සෞරග්‍රහ මණ්ඩලය හා සසදද්දී තාරකා ෆික්ස් කියලා ගන්න එකේ වරදක් එන්නේ නැහැ. ඒ හින්දා මේකේ මාජින් ඔෆ් එරර් එකක් එන්නේ නෑ.

නමුත් බටහිර ජෝතිෂ්‍යය අහසේ තාරකා ෆික්ස් කියලා ගන්නේ නෑ. ඔවුන් රාශි චක්‍රය ගන්නේ සූර්යා පදනම් කරගෙන. බටහිර ජෝතිෂයේ මේෂ බිංදුව කියලා ගන්නේ Spring Equinox එන තැනට.ඒ කියන්නේ සූර්යා සමකය හා ecliptic එක ඡේදනය වෙලා උතුරට ගමන් කරන්න පටන් ගන්න තැන.එතනින් තමයි බටහිර ජෝතිෂයේ මේෂ බිංදුව කියලා පටන් අරන් රාශි චක්‍රය අඳින්නේ.

හැබැයි පූර්වායන සංසිද්ධිය නිසා බටහිර ජෝතිෂයේ රාශි චක්‍රය කරකැවෙනවා. ඇයි ඒ ? මේක පූර්වයාණය නිසා සිදුවන්නක්. ඍතු පවා වෙනස් වෙනවා කාලයකදී. ඒ ගැන මෙතන පැහැදිලි කරන්න යන්නේ නෑ මේක සංකීර්ණ වෙන නිසා.මේ කැරකවීම නිසා Tropical  සහ Sidereal රාශි චක්‍ර දෙක align වෙන්නේ අවුරුදු 26,000 කට වගේ පස්සේ.

එතකොට මේ පූර්වයන සිද්ධිය නිසා ග්‍රහයන් ගේ වෙනස්කම් සමපාත කරන්න පෙරදිග ජෝතිෂ්‍යය තුළ අයනාම්ශ භාවිතා වෙනවා. ඒ අතරින් ලහිරි අයනාම්ශය ඉන්දියාවේ ප්‍රධාන වශයෙන් භාවිතා වෙනවා.

එතකොට පෘථිවියේ පූර්වායාන සංසිද්ධියත් සලකල තමයි මේවා ගණනය කරන්නේ කියන එක පැහැදිලි ඇති.

මං මීට සති 2 කට වගේ කලින් දැක්කා එක්තරා නාලිකාවක එක්තරා වැඩසටහනක වීඩියෝ ක්ලිප් කෑල්ලක්. එකේ සම්පත් දායකයෝ constellations (තරු රටා) සහ ජෝතිෂ්‍යය රාශි එකක් කියලා හිතාගෙන ජෝතිෂ්‍යය ගණනය වැරදි කියන්න දඟලනවා. එකේ විතරක් නෙමෙයි, ගොඩක් තැන්වල ඕක පටලාවගෙන ඉන්නේ. මං ඒක ගැන කලින් දැම්මත් අද තමයි group එකේ දැම්මේ තව ටිකක් සංශෝධනය කරලා.

ජෝතිෂ්‍ය ගණනය මගින් සූර්යග්‍රහන සහ චන්ද්‍රග්‍රහණ වගේ ඒවත් නිවැරදිව ගණනය කරන්න පුළුවන්. ඒ වගේම ග්‍රහලෝක වල retrograde motion එකත් ජෝතිෂ්‍යය තුළින් පැහැදිලි කරන්න පුළුවන්.මෙතන ඒ ගැන කියන්නේ යන්නේ නෑ.

මට මෙතන කියන්න ඕන වුණේ ජෝතිෂ්‍යය ගණනය වැරදියි, 2024 අලුත් අවුරුදු එන්නේ අප්‍රේල් 13-14 නෙමෙයි ඒක බොරු කියන අයගේ පටලැවිල්ල පැහැදිලි කරන්න.

මේකට අර බුද්ධාගමේ පාලි පාඨය බාගයක් විතරක් දැනගෙන කොමෙන්ට් ඒ පාලි කොටස කොමෙන්ට් කරන්න සහ ග්‍රහලෝක වලින් කොහොමද ජීවිතයට බලපෑමක් කරන්නේ වගේ යන්නේ කොහේද මල්ලෙ පොල් න්‍යායේ මොංගල් කොමෙන්ට් දැම්මට මට කරන්න දෙයක් නෑ. ජෝතිෂ්‍ය තුළ එහෙම ඈත තරුවලින් බලපෑම් වෙනවා කියලා කොහේවත් නෑ.ඒ ඇරත් මං මෙතන කියන්න හදන context එකට ඒක අදාලත් නෑ.

දැනගන්න ඕන කරුණු ටික සාරාංශයක් කිව්වොත් තාරකා විද්‍යාවේ constellation සහ ජෝතිෂයේ රාශි කියන්නේ දෙකක්. මේක එකක් කියලා හිතන් ජෝතිෂ්‍යය බොරු කියන්න දඟලන අයගේ තර්කය කිසිදු වැදගැම්මකට නැති එකක් කියලා තේරෙනවා ඇති.ඒ වගේම ඒ අයට ජෝතිෂයේ reference point ගැනත් අදහසක් නැති බව තේරෙනවා ඇති.

ජෝතිෂ්‍ය විද්‍යාව ඇත්ත ද බොරුද කියන්න මං දන්නේ නැහැ. අවසානයේ මේ සියලු දැනුම් පද්ධති අවිද්‍යාව නිසා නිර්මාණය වූ දේවල්. නමුත් යමක් විවේචනය කිරීමට කලින් විවේචනය කරන්න හදන දේ ගැන මූලික සංකල්ප ගැනවත් සරල අදහසක් තිබීම තමයි ශ්‍රාස්ත්‍රීය ශික්ෂණය.දෙයක් බාගෙට දැනගෙන කියන්න ගියාම ඒක හරි නෑනේ.

ඉතින් සිංහල අලුත් අවුරුද්ද කියන්නේ සූර්යා 0° ට එන තැන. Ref point අනුව සූර්යා Alpha Virginis  ට අංශක 180° ක් ප්‍රතිවිරුද්ධව පිහිටන තැන. එතන තමයි රේවත නැකතින් අස්විද නැකතට හුවමාරැ වෙන තැන.🌞

✋Constellations in the Astronomy do not give the same idea as "රාශි " in Astrology.

මේක කියවලා කෙනෙක්ට මේලෝ දෙයක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. වැඩිය හිතන්න එපා.ඔවා කරලා තමයි අපිට කෙළවුනේ කියා කියා ඉන්න ඒ අයට පූර්ණ නිදහස තියෙනවා.

ජෝතිෂ්‍ය ගැන නොදන්න කෙනෙක් නිසා ජෝතිෂ්‍යය සංකල්ප ගැන මගේ අතින් අඩුපාඩු වෙලා ඇති සමහර විට. මං ජෝතිෂ්‍යය ගැන මේලෝ කෙහෙම්මල්ක් දන්නේ නෑ. එහෙම තැනක් තියේ නම් නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනවා.

මෙහි මා විසින් සිතාමතාම "ජෝතිෂ්‍යය විද්‍යාව" ලෙස සඳහන් කර තිබීම ගැටලුවක් කරගත යුතු නොවේ. 

මන්ද Science යන වදනේ නිර්වචනයේන් ජෝතිෂ්‍යය science එකක් නොවෙයි.

විද්‍යාව ≠ Science

තාරකා විද්‍යාවේ constellation boundaries අනුව සූර්ය අප්‍රේල් 18-19 මේෂ රාශියට පැමිණෙන අවස්ථාව. ලං වෙල බැලුවොත් 1928 IAU සම්මූතිගත constellation boundaries රතු පාටින් පෙනෙයි.

සිංහල නැකත් කෝණ 27 , රාශි කෝණ 12 සහ පාද කෝණ 108

1928 IAU සම්මත කළ අහසේ සීමා ලකුණු කළ constellation boundaries

Precession  හෙවත් පුර්වයන සංසිද්ධිය උදාහරණය

Ursa Major නොහොත් මහා වලසා constellation එක.වම් පස උඩ තරු 7 කින් යුක්ත නගුල නොහොත් Plough කියන Asterism එක දකින්න පුළුවන්.

උපුටා ගන්නා ලදී..

Post a Comment

0 Comments