ඉහල වැටුප් ඇති තරඟකාරීත්වය ඉතාමත් අඩු රැකියා ක්ෂේත්‍ර කිහිපයක්


ශ්‍රී ලංකාව තුල අවම වෘත්තිකයන් සංඛ්‍යාවක් සිටින සහ ඉහල වැටුප් තලයකට පිවිසිය හැකි තරඟකාරීත්වය ඉතාමත් අඩු රැකියා ක්ෂේත්‍ර කිහිපයක් තියෙනවා.මේවා කරන්න මහ ලොකු සුදුසුකම් ඕන නෑ. උනන්දුව කැපවීමයි ඕන. ලංකාව තුල ඉලක්කම් 6ක වැටුපක් බොහොම ලේසියෙන් අනෙත් රැකියාවන්ට සාපේක්ෂව මේවගෙන් උපයන්න පුළුවන්.
තව මේවගේ ඒවා ඔයාලගේ රැකියා ක්ෂේත්‍රවලත් ඇති. මේවා මං දන්න, මං අත්දැකීමෙන්ම අත් විඳපු මගේ ක්ෂේත්‍රයට ආසන්න ක්ෂේත්‍ර. 

මේවා මේ පාර විභාගෙ ලියපු පොඩි එවුන්ට වැදගත් වෙයි. මොකද මේවා මං දැනගත්තෙ ගොඩක් මහන්සි වෙලා හොයල. පෙලක් ඒවා මං දැන ගන්නකොට පරක්කු වැඩියි. කිහිපයක් විතරක් මමත් කරා. මේ වගේ දේවල් හොයන්න උනන්දුවක් තියෙන අයට තමයි, මේක. 👇
ඕන ගොනෙකුට තේරෙන විදියට ලියන්න හිතුණ නිසා බර වචන, තාක්ෂණික වචන ගොඩක් අඩුකරල තමයි මේක දැම්මෙ.

1) Industrial Boiler Operator

Garment Factory වල, තේ කර්මාන්තශාලාවල  වගේ ලොකු සිලින්ඩරයක් වගේ තියෙන යන්ත්‍රයක් දැකල ඇති ගොඩක් අය. හුමාලය, ජල වාශ්ප, උණු වතුර හදන්න ගන්න විශාල යන්ත්‍රයක් තමයි මේ බොයිලේරුව කියල කියන්නෙ. ඒකෙ වැඩකරන්න නම්, licence එකක් ඕන. ඒක ගන්න ඒ වගේ බොයිලේරුවක මුලින් වැඩකරන්න ඕන trainee කෙනෙක් විදියට. ඒකට අදාල පාඨමාලාත් තියේ 8 pass නම් පුළුවන්. මොරටුව විශ්වවිද්‍යාලය, IITM ආයතනය වගේ ඒවගේ. Boiler Operator grades තියේ class I සිට III වෙනකන්. Class III ඉන්න කෙනෙක්ට වුණත්, ලක්ෂයක් වගේ වැටුපක් ගන්න පුළුවන්. ලංකාවෙම මේ අය 1000ක් නෑ හොයාගන්න.

2) Safety Engineer/ Occupational & Safety Manager

කර්මාන්තශාලාවක සෞඛ්‍ය හා වෘත්තීමය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්න කෙනා. මෙයා overall ගත්තොත්, doctor, engineer, PHI, ඔය වගේ වෘත්තීන් කිහිපයක තියෙන මූලික සංකල්පවල එකතුවක් කිව්වත් ප්‍රශ්නයක් නැහැ.
මෙහෙම කෙනෙක් වෙන්න අවශ්‍ය පාඨමාලා, NIOSH, CIPM, කොළඹ විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, NEBOSH වගේ ආයතනවල තියේ. මූලික සුදුසුකම O/L. බිංදු 6ක වැටුපක් ගන්න පුළුවන් රැකියාවක්. ලංකාවෙම මේ අය 1000ක් නෑ හොයාගන්න. ඉදිරියේදී අනිවාර්ය වෙනවා මෙම තනතුර රැකියා ස්ථානයක සේවකයින් 100ට වඩා වැඩිනම්.

3) NDT (Non Destructive Test) Technician

ගුවන්‍ යානාවල, පාලම්වල, තෙල් ටැංකිවල වගේ ඇතුලත පියවි ඇසට නොපෙනෙන පළුදු, වගේ දේවල් පරීක්ෂණාත්මකව සොයන කෙනා.
මේකටත් පාඨමාලා තියේ, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ. හැබැයි ලක්ෂ 4ක් වගේ යනවා ඔක්කොම පාඨමාලා කරන්න. හැබැයි වැටුප බිංදු 7යි. ලංකාවෙම මේ අය 100ක් නෑ.

4) ECU Programming

දැන් එන වාහනවල සියලුම පද්ධති පාලනයවන කොටස තමයි ECU එක. ඒක programme කරන්න දන්න අය අඩුයි ලංකාවෙ. ලංකාවෙම 100ක් නෑ මේ අය.
හැපුණ වාහනයක Airbag sensor එක open වෙලා ඒකේ data, ECU එකේ record වෙනවා. පෙලක් අයට ඕන brand new විදියට ඒ වාහනේ විකුණන්න. එතකොට අර recorded data එක අයින් කරගන්න, ECU programming දන්න කෙනෙක් ඕන. මෙහෙම කිව්වම ගොඩක් අයට තෙරේන නිසයි මේක දැම්මෙ. 😂
උඩ කිව්ව හොර වැඩේ වගේම, ECU programming වලින් ගොඩක් සාධනීය දේවල් කරන්න පුළුවන්. මෙහෙම කෙනෙක්ටත් ලංකාවේ බිංදු 6ක වැටුපකට යන්න පුළුවන්. දැනට OBD Academy එකේ පාඨමාලා තියේ. රජයේ අධ්‍යාපන ආයතන මේවා ගැන තවම හිතලවත් නෑ. 😑
උඩ 4ම, පිටරට යන්න පට්ට valid, ඉහලම වැටුපක් පිට රට ගෙවනවා. කරා කියල පාඩුවක් වෙන්නෙ නැහැ. මං දැම්මෙ ලංකාවෙ තත්ත්වය විතරයි. ඒවගේ නම්වල නම් පොඩි පොඩි වෙනස්කම් ඇති, ඒත් කරන්න තියෙන දේ ඔය ටික.
මේ ගැන තව ඔයත් හොයල බලන්න. දන්න පොඩි එවුන්ටත් කියන්න. 😊

Thiluka T. Thilakarathna

Post a Comment

0 Comments