අවුරුදු 1500 කට වඩා පැරණි චෙස් ක්‍රීඩාවේ ආරම්භය♟️🍂

චෙස් ක්‍රීඩාවේ නිවැරදිම මූලාරම්භය පිලිබඳ නිශ්චිතම තොරතුරු නැති වුණත් එකඟ විය හැකි මට්ටමේ තොරතුරු කිහිපයක්ම තියෙනවා.

බොහෝ ජනප්‍රවාද අනුව චෙස් ක්‍රීඩාවේ ආරම්භය සිදුවන්නේ උතුරු ඉන්දියාව කේන්ද්‍ර කරගෙනයි.තවත් කතා අනුව චීනය හා පර්සියාව මුල් කරගෙන චෙස් ක්‍රීඩාව ආරම්භ වූ බව සඳහන් වෙනවා.

ප්‍රධානම කතාව අනුව ක්‍රිස්තු වර්ෂයෙන් 6-7 වන සියවසේ දී උතුරු ඉන්දියාව පාලනය කළ ශිර්හාම් රජු (King "Shirham"/"Shahram") හට කරන ලද තිළිණයක් ලෙස මෙම ක්‍රීඩාව ආරම්භවෙලා තියෙනවා. සමහර කතා අනුව බුද්ධිමත් මනුස්සයෙක් විසින් මෙම ක්‍රීඩාව රජුට හඳුන්වා දී ඇත්තේ පරාජය වූ යුද්ධයක් ජයගැනීමට කියා දුන් යුධ උපක්‍රමයක් ලෙසයි. 

එමෙන්ම සමහර තැන්වල මෙම ක්‍රීඩාවේ නිර්මාපකයා ලෙස දැක්වෙන්නේ රජුගේ ග්‍රෑන්ඩ් විසියර් වූ සිස්සා බෙන් දාහිර් ( Grand Vizier Sissa Ben Dahir) විසින් බවයි.Grand Vizier යනු තුර්කින් හා අරාබියන් විසින් පුරෝහිත මට්ටමේ තනතුරක් හැඳින්වූ නාමයක්.

කව්රුන් හෝ ආරම්භකයා වුවත් ජනප්‍රවාද අනුව මෙම විශිෂ්ට ක්‍රීඩාව ගැන රජු ඉතාම සතුටට පත්වෙලා ක්‍රීඩාව නිර්මාණය කරපු පුද්ගලයා හට තමන් කැමති ඕනෑම දෙයක් ලබාදීමට සූදානම් බව පවසා තිබෙනවා. කොහොම උනත් නිර්මාපකයා මිල, මුදල් ධන ධාන්‍ය ප්‍රතික්ෂේප කර තිබෙනවා. රජුගේ බලවත් ඇවිටිලි කිරීම නිසාම ඔහු තමන්ට අවශ්‍ය තෑග්ග මෙහෙම පවසල තියෙනවා.

ක්‍රීඩාව  කරන ලෑල්ල තුළ පැත්තකට කොටු 8  බැගින් කොටු 64 ක් (8×8) තිබෙනවා. ඔහුගේ ඉල්ලීම වුණේ පළමු කොටුවට එක් ධාන්‍ය ඇටයකුත්, දෙවෙනි කොටුවට පළමු කොටුවට දැමූ ධාන්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයකුත්, තෙවැනි කොටුවට දෙවෙනි කොටුවට දැමූ ධාන්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයක් දමන ලෙසයි. මෙලෙස කොටු 64 ම එලෙස පුරවා එම ධාන්‍ය ප්‍රමාණය තමන්නට ලබාදෙන මෙන් ඉල්ලා සිටියා. අපි පහසුවට මෙම ධාන්‍ය වී ඇට ලෙස ගම්මු. බොහෝ විට මේ ධාන්‍ය වී විය යුතුයි.

සිද්ධ වෙලා තියෙන ආකාරය සරලව පහත දැක්වේ...

1 කොටුව = 1 = වී ඇට 1

2 කොටුව = 1×2 = වී ඇට 2 

3 කොටුව = 2×2 = වී ඇට 4

4 කොටුව = 2×4 = වී ඇට 8

5 කොටුව = 2×4 = වී ඇට 16

6 කොටුව = 2×16 = වී ඇට 32

7 කොටුව = 2×32 = වී ඇට 64 

8 කොටුව = 2×64 = වී ඇට 128

9 කොටුව = 2×128 = වී ඇට 256 

10 කොටුව = 2×256 = වී ඇට  512 

11 කොටුව = 2×512 = වී ඇට 1,024

12 කොටුව = 2×1,024 = වී ඇට 2,048

13 කොටුව = 2×2,048 = වී ඇට 4,096

14 කොටුව = 2×4,096 = වී ඇට 8,192

15 කොටුව = 2×8,192 = වී ඇට 16,384

16 කොටුව = 2×16,384 = වී ඇට 32,768

17 කොටුව = 2×32,768 = වී ඇට 65,536

18 කොටුව = 2×65,536 = වී ඇට 131,072

19 කොටුව = 2×131,072 = වී ඇට 262,144

20 කොටුව = 2×262,144 = වී ඇට 524,288

21 කොටුව = 2×524,288 = වී ඇට 1,048,576

22 කොටුව = 2×1,048,576 = වී ඇට 2,097,152

23 කොටුව = 2×2,097,152 = වී ඇට 4,194,304

24 කොටුව = 2×4,194,304 = වී ඇට 8,388,608

25 කොටුව = 2×8,388,608 = වී ඇට 16,777,216

26 කොටුව = 2×16,777,216 = වී ඇට 33,554,432

27 කොටුව = 2×33,554,432 = වී ඇට 67,108,864

28 කොටුව = 2×67,108,864 = වී ඇට 134,217,728

29 කොටුව = 2×134,217,728 = වී ඇට 268,435,456

30 කොටුව = 2×268,435,456 = වී ඇට 536,870,912

31 කොටුව = 2×536,870,912 = වී ඇට 1,073,741,824

....... 64 කොටුව = ?

31 වැනි කොටුවට පමණක් වී ඇට එක් බිලියන හැත්තෑ තුන් මිලියන හත් ලක්ෂ හතළිස් එක්දහස් අටසිය විසිහතරක් අවශ්‍ය වෙලා තියෙනවා. (රෝසිගේ ගනන් නෙමෙයි 😒) 

(One billion Seventy Three Million Seven Hundred And Fourty One Thousand Eight Hundred Twenty Four )ආසන්න වශයෙන් 31 වැනි කොටුව පිරවීමට වී ඇට බිලියන 1.1 ක් අවශ්‍ය වෙලා තියෙනවා.

හෝව්... හෝව්... චෙස් බෝඩ් එකේ කොටු 64 ක් තියෙනවා. තාම කොටු 31 යි පුරවලා තියෙන්නේ. මේ ආකාරයට 64 වැනි කොටුව පුරවන්න යන වී ඇට ප්‍රමාණයත් ගණනය කරන්න පුළුවන්.

ඒ  අනුව 

64 කොටුව = 2^63=  වී ඇට 9,223,372,036,854,775,808

හරියටම කිව්වොත් කුයින්ටිලියන 9.23 ක්.( 9.23 Quintillion) අවශ්‍යයි.

ඔය ආවේ 64 වැනි කොටුවට විතරක් අවශ්‍ය වී ඇට සංඛ්‍යාව. ඒ විදියට කොටු 64 ම වී ඇට කීයක් ඇතිද ? සරලව ගණිත සූත්‍ර භාවිතා කරලා බෝඩ් එකේ කොටු 64 පුරවන්න ගිය වී ඇට ගාන හොයන්න පුළුවන්. ඒ අනුව :

වී ඇට 18,446,744,073,709,551,615 ක් අවශ්‍ය වෙනවා.  ඒ කියන්නේ කුයින්ටිලියන 18.446 ක්.( 18.446 Quintillion)

රජු පළවෙනි කොටු කීපය ලෙහෙසියෙන් පුරවන් ගියත් ඊළඟට තියන කොටු වී ඇටවලින් පුරවන විට confused unga Bunga වෙලා තියෙනවා. කතාවේ හැටියට මේ ප්‍රමාණය හොයාගන්න සතියක් ගියා කියලත් තියෙනවා. ඒ වගේම චෙස් බෝඩ් එක පුරවන්න අවශ්‍ය වී ඇට ගෙන්න කරත්ත ලක්ෂ ගණනක් ගෙන්න වුණා කියලත් කියනවා. ඒත් පුරවන්න බැරි වෙලා තියෙනවා.

අපි පොඩ්ඩක් ඒක ප්‍රැක්ටිකල් ද කියලා බලමු.

දළ වශයෙන් වී ඇටයක් 25 mg ක් බරයි කියලා හිතමු. එතකොට රජුට චෙස් බෝඩ් එක පුරවන්න ගිය වී ඇටවල බර දළ වශයෙන් ටොන් 461,168,601,825 යි.( ටොන් බිලියන 461 )

ගණනය කිරීම් අනුව පෘථිවියේ ස්කන්ධය ටොන් ට්‍රිලියන 6000 ක් වෙනවා. මේ වී ඇටවල බර ටොන් බිලියන 461 යි. 

2021 වසරේ ඉන්දියාවේ  වාර්ෂික වී නිෂ්පාදනය ටොන් මිලියන 195 යි. 2021 දී ලංකාවේ වී නිෂ්පාදනය ටොන් මිලියන 6 යි.

2022 වසරේ මුළු ලෝකෙන්ම වී නිෂ්පනදය ටොන් මිලියන 510 ක් විතර.ලෝකෙම වී ගෙනාවත් පුරවන්න බැරි වෙනවා.

මේ කතාවේම අනුවාද ගණනක් තියෙනවා.තවත් කතාවක් අනුව රජු ගමනක් යන අතරතුර කෝවිලක්/ දේවාලයක් අසල නැවතිලා තවත් සාමාන්‍ය කොල්ලෙක් එක්ක මේ ක්‍රීඩාව කරලා තියෙනවා.රජු පැරදුණොත් එකේ වන්දිය අර කෝවිලට ගෙවන්න පොරොන්දු වෙල තියෙනවා.

රජු පරාද වීම නිසා ඒ වන්දිය තරුණයා මෙලෙස ඉල්ලපු වී වලින් ගෙවන්න වෙලා තියෙනවා.එහෙම බැලුවොත් දළ වශයෙන් වර්තමානයේ ඉන්දියාවේ බිලියන 1.5 ක ජනගහනය සලකා බලලා නූතන ඉන්දියාවේ වී නිෂ්පාදනය වාර්ෂිකව ටොන් මිලියන 200 ක් ලෙස අරගෙන බැලුවොත් රජාට අවුරුදු 2000 ක් ගියත් එච්චර අස්වැන්නක් ඉන්දියාවේ වී වගාවෙන් ගන්න බැරි වෙනවා කෝවිලට ගෙවන්න. ( දේශ සීමා ප්‍රමාණ සහ ජනගහනය, කැලෑ ආදිය අත හැරලා නූතන ප්‍රමාණයෙන් බැලුවොත් )

රජාට අප්පට හික් ගෑවිලා කොර වෙන්න ඇති... 🥴

දළ වශයෙන් වී ඇටයක දිග සාමාන්‍යයක් ලෙස 5 mm ක් කියලා ගත්තොත් මේ වී ඇට කුයින්ටිලියන 18 එකින් එක එක පෙළට තිබ්බොත් ආසන්න වශයෙන් කිලෝමීටර් 92,233,720,368,545 දුරක් එක පෙළට තියන්න පුළුවන්. කිලෝමීටර් ට්‍රිලියන 92.2 ක්.  ඒ කියන්නේ ආලෝක වර්ෂ 9.74 ක දුරක්.

පෘථිවියට ආසන්නම තරුව වෙන ප්‍රොක්සිමා සෙන්චුරි තරුව වෙත තියන දුරත් ආලෝක වර්ෂ 4.25 යි. මේ වී ඇට ප්‍රමාණය එක පෙළට ගොඩ ගැහුවොත් ප්‍රොක්සිමා සෙන්චුරී තරුවත් පහු කරලා එක පෙළට තියන්න පුළුවන්. වී ඇට සියල්ල එක පෙළට ගොඩ ගැසුවොත් සැගිටේරියස් තාරකා රාශියේ තිබෙන ආලෝක වර්ෂ 9.68 දුරින් පිහිටි Ross 154 තාරකාවටත් එහා දුරකට ත් එහා මේ වී ඇට පෙළ ගහන්න පුළුවන්.

කොහොම වුනත් මෙලෙස උතුරු ඉන්දියාවෙන් ආරම්භ වෙලා පර්සියාව හරහා අරාබිය ,වර්තමාන ස්පාඥ්ඥයත් නූතන යුරෝපය දෙසටත් මේ ක්‍රීඩාව ව්‍යාප්ත වෙලා තියෙනවා. අනික් පසින් චීනයටත් ව්‍යාප්ත වෙලා තියෙනවා.

තවත් කතාවක් අනුව ක්‍රිස්තු පූර්ව 200 දී පමණ චීනයේ හමුදා කාණ්ඩයක අණදෙන නිලධාරී  Han Xin විසින්  චීනයේ වූ යුද්ධයක් නිරූපණය සඳහා මෙය නිර්මාණය කළා කියලා සඳහන් වෙනවා.ඉන් පසුව නැවත ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේදී චීනයෙන් නැවත වෙනත් ආකාරයකට මෙය ආරම්භ වෙල තියෙනවා.

උතුරු ඉන්දියාවෙන් ආරම්භ වූ චෙස් ක්‍රීඩාව මුලින්ම නම් වෙලා තියෙන්නේ "චතුරංග" ලෙසයි. සංස්කෘත භාෂාවෙන් එලෙස හඳුන්ව ඇති අතර එහි අර්ථය අපි දන්න විදියට බැලුවොත් ඇත්,අස්,රිය, පාබල කියන චතුරංගනී සේනාව කියන අර්ථය වගේ එකක් ගෙන දෙනවා මං හිතන්නේ. අශ්ඨපාද කොටුවක ඇත්,අස් ,රිය ,පාබල සංකේත යොදාගෙන මෙම ක්‍රීඩාව මුලින්ම සිදු කාරලා තියෙනවා.

උතුරු ඉන්දියාව හරහා පර්සියාව දක්වා යන විට මෙය "Shatranj" වෙලා තියෙනවා. කාලානුරූපීව  වුණ වෙනස්කම් එක්ක පර්සියානුවන් රජුව (King)  "Shah" ලෙස හඳුන්වලා තියෙනවා. "Shah Mat" කියලා ඔවුන් හඳුන්වලා තියෙන්නෙ "King Is Helpless"  හෙවත් රජු අසරණයි යන්න. වර්තමාන ඉංග්‍රීසීයෙන් "Check" සහ "Checkmate" යන්න.

අරාබිය හරහා 10 වන සියවසෙන් පසුව යුරෝපයට යන විට මෙය තවත් වෙනස් වෙල තියෙනවා. ඇත්, අස්,රිය,පාබල වෙනුවට නයිට්වරු,ක්‍රිස්තියානු ආධිපත්‍ය නියෝජනය කළ බිෂොප්වරු ලෙසත්,අනිත් කොටස් දෙක Rook සහ Pawn ලෙස වෙනස් වෙලා තියෙනවා. සූදු කෙලිම සඳහාත් මෙම ක්‍රීඩාව යොදාගත්ත නිසා ප්‍රංශය වැනි රටාවට වැඩ වසම් යුගයේදී කතෝලික පල්ලිය විසින් චෙස් ක්‍රීඩාව තහනම් කරා කියලත් කියනවා.

Schach ලෙස ජර්මන් භාෂාවෙනුත්,Szachy ලෙස පෝලන්ත භාෂාවෙනුත්, රුසියානු භාෂාවෙන් Shakmaty ලෙසත් අර මුලින් ආ Shah වචනය චෙස් වෙනුවෙන් උච්චාරණය වෙනවා. 15-16 සියවස්වලදී බ්‍රිතාන්‍ය වෙළන්දන් Shah යන්න වැරදියට උච්චරණය කිරීම නිසා Chess, චෙස් ලෙස වර්තමාන වචනය බිහි වෙලා තියනවා.

විවිධ වෙනස් වීම් වලට භාජනය වෙලා 1880 වෙනකොට නූතන චෙස් ක්‍රීඩාව ලෝකයට බිහි වෙලා තියෙනවා.1850 සිට 1950 දක්වා කාලය හඳුන්වන්නේ "Romantic Era Of Chess"  කියලා. 

1851 දී ලන්ඩන් වල Immortal Game කියලා හඳුන්වපු චෙස් තරඟයක් තිබිලා තියෙන්නේ ඇඩොල්ෆ් ඇන්ඩර්ස්න් සහ ලයනල්  කීසේරිට්ස්කි අතර. මේ කාලයේදී වැඩි වශයෙන් තම වටිනා ඉත්තන් කැප කර, විවිධ උපක්‍රම භාවිතා කරලා තරඟ ජයගන්න උත්සාහ කළ යුගයක්.

1886 දී ප්‍රථම නිල ලෝක චෙස් ශූරතාව විල්හෙල්ම්  ස්ටේයිනිට්ස් දිනාගන්නවා.

1997 දී ලෝක චෙස් ශූරයෙක් වූ ගැරී කස්පාරෝව් විසින් IBM ආයතනය විසින් නිර්මාණය කරන ලද Deep Blue නැමති චෙස් සෙල්ලම් කළ හැකි පරිගණකය හමුවේ වට 4-2 ක් ලෙස පරාජය වෙනවා.එදා සිට අද දක්වා චෙස් ශූරයෝ පරිගණක වැඩසටහන් හමුවේ බොහෝ විට පරාජය වෙනවා.

හරිම නිර්මාපකයා සොයාගැනීම අපහසු වුණත් තියන කතා අනුව චෙස් ක්‍රීඩාවේ ආරම්භය උතුරු ඉන්දියාවෙන් ආරම්භ වී පර්සියාව හරහා අරාබියටත්, ඉන් පසුව මධ්‍යකාලීන යුරෝපය දක්වා ව්‍යාප්ත වී ඇති බව සීතිය හැකියි. චීනය තුළත් මෙවැනි ක්‍රීඩාවක් තිබී ඇතත් ඉන්දීය වෙළඳූන් හරහා චීනයට මෙම ක්‍රීඩාව සංක්‍රමණය වී පසුව ජපානයට ව්‍යාප්ත වී ඇතැයි සිතීම යුක්ති සහගතයි හැඟේ.

කොහොම වුනත් අර චෙස් බෝඩ් එකට වී ඇට පුරවන්න දරන ප්‍රයත්නය පෙරදිග ලෝකයේ සහ ඉන්දීය ගණිත ඥානයේ විශිෂ්ටත්වය විදහා පානව. මට ඒක එක්ක මතක් වුණේ ලෝකයට බිංදුව ("0") හඳුන්වා දුන්න ඉන්දීය දාර්ශනිකයා ආර්යභත්තව.ආර්යභාත්ත කියන්නේ ක්‍රිස්තු වර්ෂ 4-5 සියවසේ ජීවත් වූ ගණිතඥයෙක්, ජෝතිෂ්‍යවේදියෙක්,තාරකා විද්‍යාව ගැන උනන්දු වූවෙකි."අරියභතියා" කියන්නේ ඔහු විසින් හින්දු ගණිත සංකල්ප හා තාරකා විද්‍යාවන් පිළිබඳ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී පමණ සංස්කෘත බසින් ලියන ලද පොතක්.

පහත සිතුවමෙහි දැක්වෙන්නේ ක්‍රිෂ්ණ හා රාධා විසින් ආශ්ඨපාද (8×8) ලැල්ලක "චතුරංග" ක්‍රීඩක සෙල්ලම් කරන ආකාරය.

කොහොම වුණත් අදටත් චෙස් කියන්නේ මනස වෙහෙසවා ක්‍රීඩා කළ යුතු ක්‍රීඩාවක්...♟️

උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments