ලොව බලවත්ම මේසය - The most powerful table in the world


වර්ෂ 1845 මැයි මස සර් ජෝන් ෆ්‍රෑන්ක්ලින් නැමැති බ්‍රිතාන්‍ය ජාතික දේශගවේෂකයා රාජකීය නාවුක හමුදාවට අයත් හොඳම යුධ නෞකා ද්විත්වය ද රැගෙන ගොඩබිමට සමුදුන්නේ වයඹදිග පැසේජය (Northwest Passage) සොයාගැනීමේ අරමුණු පෙරදැරිව ය.

 නමුත් මුහුදු සක්මනේ අනිත්‍යය පසක් කරමින් 129 දෙනෙකුගෙන් යුතු ගවේෂණ කණ්ඩායම නෞකාවන් දෙක සමගම අතුරුදන් විය. අතුරුදන් කණ්ඩායම ගැන සොයාබැලීමට HMS Resolute (රෙසොලූට්), HMS Intrepid (ඉන්ට්‍රෙපිඩ්), HMS Pioneer (පයොනියර්), HMS Assistance (ඇසිස්ටන්ස්) සහ HMS North Star (නෝත් ස්ටාර්) නමැති නෞකාවන් පිටත් කර හැරින. රෙසොලූට් නෞකාව නිපදවා තිබුණේ අයිස් තට්ටු දෙබෑ කරමින් ඉදිරියට යා හැකි ආක්ටික් නැවක් ලෙසිනි. 

අදාල කටයුත්ත ඉටු කිරීම සඳහා එහි ඉදිරිපස කොටස යකඩින් තනා තිබිණ. නමුත් අප්‍රෙල් මාසය වන විට එයත් තවත් නෞකා තුනකුත් අයිස් තට්ටු අතර සිරවන්නට පටන් ගත්තේ ය. නැව් හතර  සොලවන්නටවත් නොහැකි වූ තැන මෙල්විල් සවුන්ඩ් අසල දී අත්හැර දමන්නට තීරණය විය. අයිස් තට්ටු මත ඇවිද ආ නාවිකයන් පිරිස අයිස් තට්ටුවේ අණසකින් බේරී සිටි එකම නෞකාව වූ නෝත් ස්ටාර් වෙත ගොඩ වී යළි බ්‍රිතාන්‍යය බලා පිට විය. 

සීත සෘතුව පහවිය. අයිස් තට්ටු දිය විය. නෞකා ඔහේ පාවී ගියේ ය. 1954 දී එය බැෆින් දූපත අසල දියඹේ නවතා තිබූ ඇමරිකාවට අයත් කපිතාන් ජේමස් බඩිංග්ටන්ගේ George Henry (ජෝර්ජ් හෙන්රි) නෞකාව විසින් දකිනාවිට සැතපුම් දහසක් පමණ ගසාගෙන විත් පැවතින. එහි අයිතිය තමන්ට නතුකරගත් බඩිංග්ටන් එය තම කාර්ය මණ්ඩලය ලවා ඇමරිකාවට හරවා යවනු ලැබීය. එය රැගත් පිරිස 1855 නත්තල් උදාව වන විට නිව් ලන්ඩන්හි කනෙක්ටිකට් වරායට සේන්දු විය. 

ඒ මොහොත වනවිට ඇමරිකාවත්, බ්‍රිතාන්‍යයත් අතර පැවතියේ තරමක ගිනියම් වාතාවරණයකි. එවක ඇමරිකානු ජනාධිපති ෆ්රෑන්ක්ලින් පියර්ස් (Franklin Pierce) තෙවැනි වතාවටත් බ්‍රිතාන්‍යයට එරෙහිව යුධ වැදීමේ සූදානමින් පසුවිය. කෙසේ නමුත් රටවල් දෙක අතර ධීවර කටයුතු සම්බන්ධයෙන් ද මතභේදාත්මක තත්ත්වයක් මතුව තිබූයෙන්, යුද්ධය දුරැර දා සාමයෙන් ප්‍රශ්න විසඳාගැනීමට ඇමරිකාව යොමුවිය.

 ඒ අනුව රෙසොලූට් නෞකාව බඩිංග්ටන්ගෙන් ඩොලර් හතළිස්දහසක මුදලක් ගෙවා ආණ්ඩුවට පවාරා ගැනිණ. ඒ අලුත්වැඩියා කර වික්ටෝරියා රැජිණට ත්‍යාගයක් ලෙස පිළිගැන්වීමට ය. සියලු අලුත්වැඩියා කටයුතුවලින් අනතුරුව HMS රෙසොලූට් 1856 නොවැම්බර් 13 වැනිදා නිව් යෝර්ක් වරායෙන් පිටවිය. Isle of Wight වෙත පැමිණි පසු ඊට ගොඩ වූ වික්ටෝරියා රැජිණත්, ඇල්බර්ට් කුමරුත් මහා බ්‍රිතාන්‍යය වෙනුවෙන් එවන ලද ත්‍යාගය මහත් හරසරින් පළිගත්හ. 

එතැන් සිට වසර විසි තුනක් ගතවනතුරු රෙසොලූට් නෞකාව රාජකීය නාවුක හමුදාවේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා විය. 1879 දී විශ්‍රාම ගන්වනු ලැබූ එය චාතම්හි තටාගනය වෙත ගෙනයනු ලැබ කොටස් කරනු ලැබිණ. 

එම වසරේ ම ජූනි මාසයේ තරඟයක් පවත්වන්නට කටයුතු සංවිධානය විය. ඒ රෙසොලූට් නෞකාවේ දැවයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා⁣ට ත්‍යාගයක් ලෙස ප්‍රධානය කළ හැකි ගෘහභාණ්ඩයක් සාදවා ගැනීමට ය. 

මොරන්ට්, බොයිඩ් සහ බ්ලැන්ෆෝර්ඩ් සමාගමයේ සැලසුමක් තරඟයෙන් ජයගත්තේ ය. ඔවුන් තරඟයට සැලසුම් කිහිපයක් ම ඉදිරිපත් කර තිබුණි. එකක් මේසයකි. සුවිසල් පොත් රාක්කයක් ද ඒ අතර විය. මේසයේ සැලසුම වඩාත් අග්‍රගන්‍ය වූ බැවින් එය නිර්මාණය කරන ලෙස ඔවුනට දන්වනු ලැබිණි. ගාම්භීරත්වයෙන් ඔප්නැංවුණු ලියන මේසය එසේ නිමවිය.

1880 අගෝස්තු 26 දා වොශිංග්ටනයේ, බ්‍රිතාන්‍ය තානාපතිවරයා විසින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා වෙත ලියැවෙන ලියමනකි. ඉන් කියැවෙන්නේ වික්ටෝරියා රැජිණ විසින් ඇමරිකානු ජනාධිපති වෙත පිදෙන තිළිණය ගැනය. එසේ ම වැරදුන දේශගවේෂඛයකින් පටන්ගත් ඉතිහාස කතාව ද ඊට ඇතුළත් විය.

නොවැම්බර් 15 දා මේසය නිව් යොර්ක් වරායටත්, නොවැම්බර් 23 දා ධවල මන්දිරයටත් පැමිණියේ ය. එවක ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ව සිටියේ රදර්ෆර්ඩ් බී. හේස් (Rutherford B. Hayes) ය. ඔහු එදින ම ඒ මත තබාගන ලිපියක් ලීවේ ය. ඒ ජෝර්ජ් බැන්ක්‍රොෆ්ට් නමැති ඩිමොක්‍රටික් පක්ෂ දේශපාලඥයාට ය. "රෙසොලූට් නෞකාවේ දැවයෙන් සාදා, වික්ටෝරියා රැජින තිළිණ කළ මේසයේ තබාගන මුලින් ම ඔබට ලිවීමට ලැබීම ගැන අතිශය සතුටට පත්වෙමි" යි ඔහු එහි ලියා තිබින. 

Rutherford B. Hayes

එය රෙසොලූට් නෞකාවේ දැවයෙන් තනනු ලැබූ නිසා ⁣රෙසොලූට් මේසය නමින් ද, එය භාරගනු ලැබුවේ හේස් ජනාධිපතිවරයා හෙයින් හේස් මේසය යනුවෙන් ද හැඳින්වේ.

ජනපති හේස්, මේසය හරිත කාමරයේ තැන්පත් කළේ ය. අනතුරුව එය දෙවන මහලේ පිහිටි තම කාර්යාල කුටියට මාරු කළේ ය. එකල ධවල මන්දිරයට අද මෙන් ඕවල් කාර්යාලයක් තියා බටහිර පර්යනතයක් ද නොවූයෙන් දෙවන මහල පළමු පවුලේ පෞද්ගලික නිවහන ලෙසත්, ජනාධිපතිගේ කාර්යාලය ලෙසත් භාවිතා විය. ග්‍රෝවර් ක්ලේව්ලන්ඩ් ජනාධිපතිවරයා ද රෙසොලූට් මේසය සිය කාර්යාලයේ තබාගත්තේ ය. විලියම් මැක්කින්ලේ ජනාධිපතිවරයා සෑම දාකම මේසය මත මල්  බඳුනක් තබන්නට පුරුදු වී සිටි බව පැවසෙයි. 

බටහිර කොටස තැනුනු තියඩෝ්ර් රූස්වෙල්ට් ජනාධිපතිවරයාගේ සමයේ දී එය බටහිර කොටසට රැගෙන යන ලදී. 

ෆ්රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් (Franklin D. Roosevelt) ජනාධිපතිවරයා ධවල මන්දිරය තුළ පහිටි කහ ඕවල් කාමරය (Yellow Oval Room) සිය කාර්යාලය බවට පත්කරගත් පසු රෙසොලූට් මේසය යලිත් එහි පැමිණියේ ය. වර්තමානයේ දැකගත හැකි ආකාරයේ දණහිස් ආවරණ පැනලයක් එහි සවිකරන ලෙස නියෝග කර ඇත්තේ රූස්වෙල්ට් ජනාධිපතිවරයා ය. කෙසේ නමුත් එය සවිකරන විට ඔහු ජීවතුන් අතර නොසිටියේ ය. 

Yellow Oval Room

ඉන් පසු උදා වූ හැරී එස්. ටෲමන් (Harry S. Truman) ජනපති සමය ධවල මන්දිරය තුළ ප්‍රතිසංස්කරණයන් වැඩි වශයෙන් සිදු වූ සමයකි. පැරණි මුළුතැන්ගෙය විකාශන කාමරයක් බවට හැරවුණු අතර රෙසොලූට් මේසය එහි පිවිසියේ ය. ඉන් පසු බලයට පත් වූ ඩ්වයිට් ඩී. අයිසන්හවර් (Dwight D. Eisenhower) ජනාධිපතිවරයා යටතේ ද එය පැවතියේ විකාශන කාමරයේ ය. 

කෙනඩි (John Fitzgerald Kennedy) පාලන සමයේ මුල් කාලයේ රෙසොලූට් මේසය ධවල මන්දිරය තුළ ම අස්ථාන ගත ව තිබිණ. කෙනඩි ජනාධිපතිවරයා ද ඕවල් කාර්යාලය තුළ මුල් මාස කිහිපය ගත කළේ 'තියඩෝර් රූස්වෙල්ට් මේසයේ' ය. ඔහුගේ බිරිඳ ජැකී, කලාකාමී තැනැත්තියක බව ප්‍රකට කරුණකි. ඈ යටතේ ධවල මන්දිරය තුළ වෙනස්කම් රාශියක් සිදුවිය. 

ඈ පැමිණි මුල් දිනවල ධවල මන්දිරය ඇතුළත පෙනුම ගැන දැඩි අප්‍රසාදය පළ කර ඇත. "වට්ටම් දෙන කඩවලින් ගත්තු බඩු පුරවලා වගෙයි" ඇය කියා තිබිණ. 

ධවල මන්දිර සංරක්ෂණ කමිටුව බිහිවූයේ ද ඇගේ උවමනාවට ය. ජැකී කෙනඩි පෞද්ගලිකවම ධවල මන්දිරයේ කාමර අතර සැරිසරමින් සැඟවී ගොස් ඇති පෞරාණික භාණ්ඩ සොයන්නට පටන්ගත්තා ය. ඇයට රෙසොලූට් මේසය හමුවන්නේ එසේ සොයමින් විකාශන කාමරයට පිවිසි විට ය.

 හමුවන විට එය මත සන්නිවේදන උපකරණ රැසක් ගොඩගසා තිබිණි. ඉන් සීරීම් නොවන ලෙස කොළ පැහැ රෙද්දකින් මේසය ආවරණය කර තිබිණි. දශකයක පමණ කාලයක් අස්ථානගත ව තිබූ රෙසොලූට් මේසය යළි දුහුවිලි ගොඩකින් එළියට එන්නේ එසේ ය. එහි යළි හමුවීම කෙතරම් වැදගත් කමක් ඉසිලුවේ ද යත් ඒ ගැන පුවත්පත්වල පවා ලිපි පල විය.

ජැකී සිය ස්වාමිපුරුෂයාගේ කාර්යාලය වූ ඕවල් කාර්යාලයේ එතෙක් පැවති තියඩෝ්ර් රූස්වෙල්ට් මේසය ඉවත් කර ඒ වෙනුවට රෙසොලූට් මේසය තැන්පත් කිරීමට පියවර ගත්තා ය. ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට එය ඕවල් කාර්යාලයේ තැන්පත් විණ. 

කෙනඩි ජනාධිපතිවරයා තම සංවාද පටිගත කළ හැකිවන අයුරින් රහස්‍ය සේවයේ උපකාර ඇතිව මයික්‍රොෆෝනයක් ද මේසයට සවිකළේ ය. ඇතුළත හිස් අවකාශය තුළ සවි කළ මයික්‍රොෆෝනයේ පාලන බොත්තම මේසයේ යටි පැත්තේ සවිකර තිබුණේ ජනාධිපතිවරයාට උවමනා ලෙස එය පාලනය කළ හැකි අයුරිනි. හමුවීම් සහ වැදගත් සාකච්ඡා ආදිය වාර්තා කර තැබීම සඳහා ලේඛනවලට අමතරව හඩ පටිගත කිරීමේ ක්‍රමයක් භාවිතා කළ පළමු ජනාධිපති කෙනඩි ය. ඔහු ධූරයේ සිටි කාල සීමාව තුළ එසේ පටිගත කළ සියළු ම සාඛච්ඡාවල ධාවන කාලය පැය 238 කි. 

ජනාධිපතිගේ පුතු කණිෂ්ඨ ජෝන් එෆ්. කෙනඩි, සිය පියා රාජකාරියේ යෙදෙන මොහොතක මේසයේ දණහිස් ආවරණය තුළින් එබී බලන ඡායාරූපයක් එකල බෙහෙවින් ජනාදරයට පත්විය. 


නමුත් රෙසලූට් මේසයට වැඩි කලක් ඔහුගේ "සෙල්ලම් ගෙදර" වන්නට ඉඩ ලැබුණේ නැත. ජොන් එෆ්. කෙනඩි හූස්ටන් හි දී වෙඩිල්ලකට නතු වී මෙලොව හැරගොස් තිබිණ. උප ජනාධිපතිවරයා ව සිටි ලින්ඩන් බී. ජොන්සන් ව්‍යවස්ථානුකූල ව 'එයා ෆෝස් වන්' ගුවන් යානය තුළ දී ම ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ය. බලයට පත් වී ඕවල් කාර්යාලයට පැමිණි ඔහු රෙසොලූට් මේසය ඉවත් කළේ ය. ඒ වෙනුවට 'ජොන්සන් මේසය' ගෙනාවේ ය.

ඒ ඔහු සෙනෙට් සභිකයෙකු මෙන් ම උප ජනාධිපතිවරයා ලෙස සිටි සමයේ ද රාජකාරි කටයුතු සඳහා යොදාගත් මේසයයි. 1961 වසරේ දී සම්මත කරගත් නීතියකට අනුව ධවල මන්දිරය සැලකෙන්නේ ද කෞතුකාගාරයක් වශයෙනි. එබැවින් එයට ලැබුණු ත්‍යාග ධවල මන්දිරයට අනවශ්‍ය කාලවල දී බලාකියා ගැනීමට ස්මිත්සෝනියන් නිවාසයට (Smithsonian Institution) පැවරිණ. ඒ අනුව රෙසොලූට් මේසය ද ස්මිත්සෝනියන් නිවාසයට පැවරිණ. 64-65 කාලයේ දී එය ජෝන් එෆ්. කෙනඩි පුස්තකාලය සහ කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු සඳහා පැවැත්වූ ජංගම ප්‍රදර්ශනයකට ද සහභාගී කෙරිණ. 

මෙවැනි ප්‍රදර්ශන ගණනාවක ප්‍රදර්ශනය කෙරුණු මෙය යළිත්  ධවල මන්දිරයට රැගෙව එන්නේ ජිමී කාටර් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ය. ඒ 1977 වසරේ දීයි. විකිපීඩියාවට අනුව ජනවාරි 20 දා පැවැති සිය වැඩභාරගැනීමෙන් පසු, එදින ම ඕවල් කාර්යාලයට ගිය ඔහු රෙසොලුට් මේසය නොමැති බව දැක පුදුමයට පත් ව ඇත.  

"මම ජනාධිපතිගේ ලියන මේසය ඉදිරියේ වාඩිවෙලා එය හොඳින් පරික්ෂා කළා. ඒ ජෝන් කෙනඩි වාඩිවෙලා ඉද්දි එයාගෙ දරුවා යට ඉඳන් එබිකම් කරන පින්තූරය අරගත්තු මේසය නොවන බව දැකලා මම පුදුමයට පත්වුණා. මගෙ පළමු තීරණය : ආපහු මගේ මතකයේ රැඳිලා තිබුණු මේසය මාරු කරන එක."  පසු දින උදෑසනින් ම තමන්ට රෙසොලූට් මේසය ඇවැසි බව ඔහු කියා ඇත. එපමණක් නොව, කාටර් යුවල ධවල මන්දිරයටම වෙන්වුණු, කලාකෘති සහ පැරණි ගෘහභාණ්ඩ සංචිතයක් මිල දී ගැනීමට මූල්‍ය පදනමක් පවා ආරම්භ කළහ. 

කාටර්ට පසු පැමිණි රොනල්ඩ් රේගන් ද රෙසොලූට් මේසය ඕවල් කාර්යාලයේ තම නිල මේසය ලෙස තබාගත්තේ ය. 

රේගන්ගෙන් පසු පැමිණි ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්, රෙසොලූට් මේසය වෙනුවට C&O මේසය භාවිතයට ගත්තේ ය. නමුත් ඔහු රෙසොලූට් මේසය ද දවල මන්දිරය තුළ තබාගත්තේ ය. 

බිල් ක්ලින්ටන් යළිත් එය ඕවල් කාර්යාලයට ගෙන ආවේ ය. එතැන් සිට අද දක්වාම එය ඕවල් කාර්යාලය තුළ ජනාධිපතිවරයා⁣ගේ නිල ලියන මේසය ලෙස පවතියි. 

මෙම මේසයට යටින් හදිසි අවස්ථාවක දී ජනාධිපතිවරයාට පලා යා හැකි පරිදි උමං මාර්ගයක් පිහිටා ඇතැයි මා ඇතැම් තැනක කියවා ඇත. නමුත් ඉතිහාසය සොයා යද්දී එය හුදෙක් කුමන්ත්‍රණ මතයක් පමණක් බව පෙනී යයි. එවැන මතයක් බිහිවීමට හේතුව විය හැක්කේ බොහෝ විට ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සවිකළ දණහිස් ආවරණ පැනලය මගින් අභ්‍යන්තරය ආවරණය වී ඇති බැවින් විය හැකි ය.

නමුත් කෙනඩි පාලන සමය තුළ මෙය ඕවල් කාර්යාලයට එන්නට පෙර තිබූ තියඩෝ්ර් රූස්වෙල්ට් මේසයේ මෙවැනි පැනලයක් නැත. ජොන්සන් මේසයේ හෝ C&O මේසයේ හෝ එවැනි පැනලයක් නැත. එය යටින් ඇත්තේ ද ඔප දැමූ පොළොව බව පෙනෙයි.

මුහුදුබත් වන්නට තිබූ නැවක දැවයෙන් සෑදී, අද මුලු ලොවකටම බලපාන සම්මුතීන්ට අත්සන් තැබෙන මේසය එයයි. කොටින්ම කිවහොත් මේස අතර 'ලොක්කා' එයයි. 

උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments