විෂ වෙදකමේ දූත ලක්ෂණ ශිල්පය

පණිවුඩය රැගෙන එන දූතයාගේ ලක්ෂණ අනුව සතා හදුනා ගැනීම.

--------------------------------------------------------------------------


සර්පයන්

*නයා.

--------

*බිලිඳකු කැටුවට කතක්‌ද එන් නේ

ඇවිදින් මා ළඟ හඬා වැටෙන් නේ

මූණ ද පිසිමින් මෙලෙස කියන් නේ

රැවුදෙන නයි විසමයි දැනගන් නේ.

*පොළඟා.

-------------

*ලකුණු ඇගේ සොඳ ලෙසට බලන් නේ

දකුණු අතින් උගෙ ලමැද කසන් නේ

නැගෙන දෙසේ සිට ගෙනම කියන් නේ

ලකුණු මෙසේ පොළඟා දැනගන් නේ.

*කරවලා.

------------

*විසගෝර සර්පයා කාපි කියන්නේ

එන ලකුණෙන් ගුරුවර විමසන්නේ

වමතින් ඔහුගේ උදර කසන්නේ

තිරසාරයි කරවලා කියන්නේ.

*පොලොන් තෙලිස්සා.

--------------------------

*නිසාරුවක්‌ සේ ඇස නොපියන් නේ

මුකුළු සිනාසී මට පවසන් නේ

ලකුණු බලා සොඳ ලෙසට කියන් නේ

එවැනි ලකුණු තෙලිසා දැනගන් නේ.

*මාපිලා.

-----------

*ත්‍රස්‌ත වූ මිටි මිනිසෙක්‌ දැකගන් නේ

ගුරුවරු ගෙදරද කියාන එන් නේ

ඉණ අතගාමින් කියයි බොලන් නේ

මෙවැනි ලකුණු මාපිලා කියන් නේ.

-----------------------------------------------------------------------------

සර්පයන් නොවන අනෙකුත් සත්තු.

*මීයා

----------

*දෙවැල මිටත් කසමින්ය කියන් නේ

දෙපය කසා සිටගෙනමැ කියන් නේ

අධික ගායටයි ගුරුනි කියන් නේ

ගත්කුනි මී විසමයි දැනගන් නේ.

*සිකනලා.

------------

*උකුලත අත ගසමින් පවසන් නේ

පමා නැතුව යන් ගුරුනි කියන් නේ

සතුරු බසත් මේ දුවගෙන එන් නේ

අසා ලකුණු සිකනලෙකි බොලන් නේ.

*මැඩියා.

-----------

*ඇවිත් සිටම ඔහු උදර කසන් නේ

තැනක නොසිට ඇවිදිති දැනගන් නේ

බොහෝ දුකකි ගුරුවරුනි කියන් නේ

තිරසාරෙන් ගෙමැඩියාය කියන් නේ.

*උකුලත අතගාමින් පවසන් නේ

පමා නැතුව යං ගුරුනි කියන් නේ

සතුරු බසක්‌ වේ දුවගෙන එන් නේ

තිරසාරෙන් ගෙමැඩියාය කියන් නේ.

-----------------------------------------------------------------------------

*මර ලකුණු.

=========

*නරදුටු මිනිසෙක්‌ එයි ලසිනේ යා

කම්මුල කසමින් කියයි සොඳේ යා

එවැනි ලකුණු දුටුහොත් ලසිනේ යා

තිරසාරෙන්ම ම මිනි ලකුණේ යා.

*කෙනෙකුගේ ග්‍රහචාරය අනුව නිශ්චිත දිනයක, නිශ්චිත වෙලාවක නිශ්චිත තැනකට දෂ්ඨ කළොත් නම් මරණය නියතයි.ඒ සම්බන්ධ දැනුමක් තිබේ නම් අදාල කාල සීමාවේදී නිසි ප්‍රතිකාර ලබා දෙන්නත් පුළුවන් .

*ඉරිදා අටවක පාලොස්වකටත්

එම දා කැති මුල සුවනේ නැකතත්

රිවිදා නැකතේ රිවිට පැමිණියොත්

එවදා නසි සත් පැයකින් බොරු නැත්

*එසේම සර්පයාගේ දළ පහර වැදුනු ප්‍රමාණය අනුවද රෝගියාගේ මරණය තීරණය උනා.

*එක දළ නම් විස අල්පය

දෙදළ වුවොත් මන්ත්‍ර ජපය

තුන්දළ අවුසද සාදය

සිව් දළයෙන් මරණෙ වේය

*අපගේ විෂ වෙදකමට අනුව වෙදකම ඇරඹෙන්නේ කෙනෙකුට සර්පයෙකු දෂ්ඨ කළ බවට පණිවිඩය ලැබූ සැනින්.මේ කාර්‍යය දූත ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම ලෙස හැඳින්වෙනවා. දූතයා පවසන මුල්ම වාක්‍ය අනුව දෂ්ඨ කළ සර්පයා හඳුනා ගැනීමට භාවිතා කළ කවියක් මෙසේයි.

*දුත පැවසූ තෙපුලේ හළු හකුරු හැර

සුළැඟිලි පටන් ගැනගෙන පිළිවෙලිනි වර

සුළැඟිලි හුල නාග යැයි කියනුය ඝෝර

වෙදැඟිල්ලේ හුන පොළඟෙක් කියන් පෙර

*මැදඟිල්ලේ හුන තෙලිසපු කියන්නේ

තර්ජනියේ හුන කරවෙල කියන්නේ

මාපට ඇඟිලි විස නැති සපෙකි වන්නේ

මතු පවසන ලකුණුද ඇඳින ගන්නේ

*සර්ප විෂ වෛද්‍යවරයා රෝගියා වෙත පැමිණ ඔහුගේ සිරුරේ විවිධ ලකුණු පරීක්ෂා කර දෂ්ඨ කළ සර්පයා හඳුනා ගන්නා අයුරු කවියට නගන්නේ මෙසේයි.

*වා වැඩි සිරුර වෙයි දනු නා රජුන්නේ

පිත් වැඩි සිරුර නම් පොළඟයි දන්නේ

සෙම වැඩි සිරුර වෙයි තෙලමිනි සපුන්නේ

මෙදෙසක ලකුණු වෙයි විසුවොත් මෙලෙසින්නේ

*දෂ්ඨ කළ සර්පයා අනුව රෝගියා යම් යම් ලක්ෂණ පෙන්නුම් කරනවා.

*පොළඟෙකු කෑ විට ඇති වෙන රෝග ලක්ෂණ.

-----------------------------------------------------

*ඉතා මහත්වද ඉදිමුව ඇතිවද

කෑ තැන රන්වන් වූයේ පැහැයද

සියළු පිතෙහි ඇති ලකුණු පැවත්මද

පොළොන් විසය බව දැනගන් නිවරද.

*නාගයෙක් දෂ්ඨ කළ විට රෝග ලක්ෂණ.

------------------------------------------------

*ඩැහැගත් තැන යහමින් කලු වීමද

වා සුව කිපීමෙ ලකුණු පැවත්මද

දුටුවොත් මෙලෙසට කලුවන් මුහුණද

නාග විසය බවදැන ගන් නිවැරද.

*බෙහෙත් සංයෝගයක් රෝගියාට කවා ඔහුට දැනෙන රසය විමසීමෙන්ද දෂ්ඨ කළ සර්පයා හඳුනා ගන්නවා. ඒ සඳහාද කවි පද සකසා තිබෙනවා.

*කරඳ මී පොතු එක්කර ගන්නේ

ඔළිඳ කොළත් සහමුරුවට ගන්නේ

එකට කොටා ඕ හට දීපන්නේ

පැණි රස නම් නයි විෂයි කියන්නේ

*තිත්ත රසේ තෙලිසා දැන ගන්නේ

කුණුරස නම් කරවලා කියන්නේ

ඇඹුල් රසය පොළඟා දැන ගන්නේ

කසට රසය කුණුමී යැයි දන්නේ

*දිය රස නම් දිය මකුල බොලන්නේ

කර රස නම් සිකනලෙකි කියන්නේ

කට දා නම් ගෙමැඬියා කියන්නේ

කැසුම තිබෙයි මා පිලා බොලන්නේ.

*අප ජීවත් වන පරිසරය විවිධ සත්වයන්ගෙන් බහුල වෙති.නිතර දෙවෙලෙහි දකින සත්ව කොටිටාස අතර නාගයාට ඇත්තේ විශේෂ ස්ථානයකි.

*ශ්‍රීලංකාවෙි වෙසෙන නාග වර්ග කිහිපයකි.අනෙකුත් සතුන් මෙන් නාගයා කලබල කාරි සතකු නොව.සන් සුන් ගමනක් ඇත.

*නාගයාගේ මුඛයෙහි ප්‍රධාන දළ හතරක් පිහිටා ඇත.

*එම දළ හෙවත් දත් හතර ඉතා විෂ සහිතය.

01. තකරි

02.මකරි

03.යමදුතී

04.කාල රාක්ෂි

*යනුවෙන් ආයුර්වේදයේ අගධ තන්ත්‍රයෙහි හෙවත් විෂ හරණ චිකිත්සාවෙි දක්වා ඇත. බොහෝ දුරට නාගයා හට ව්‍යසන අවස්තාවක් සිදු වන්නේ නම්. මෙම දළ හතරෙන් උඩ ඇන්දේ දත් දෙක පමණක් ආරක්ෂාව සඳහා පාවිච්චි කරනු ලබයි. යටි ඇන්දේ දළ දෙක සහ උඩ ඇන්දේ දළ දෙක එකවර පාවිච්චි කරනු ලබන්නේ දරැණු අවස්ථාවකදීය.ආයුර්වේදයේ අගධතන්ත්‍රයේ බොහෝ තතු විත්ති දක්වා ඇත.

*එක දළ නම් අල්ප විෂය

දළ දෙක නම් බෙහෙත් සාදය

දළ තුන නම් මන්ත්‍ර ජපය

සිවි දළ නම් මරණ වෙීය.

*මෙහි දැක්වෙන අදහස සරලව තේරැම් ගැනීමට හැකිය.

*නාගයාගේ එක් දළයක් පමණක් දෂ්ඨ කිරීමෙන් අල්ප විෂක් ඇතිවෙි.

*දළ දෙකක් උපයෝගි කොට ගෙන දෂ්ඨ කළේ නම් බෙහෙත් සැදිය යුතුය.

*දළ තුනකින් දෂ්ඨ කළේ නම් මන්ත්‍රද ජප කොට බෙහෙත් සාදා ප්‍රතිකාර කළ යුතුය.

*සිවි දළ උපයෝගි කොට ගෙන දෂ්ඨ කළේ නම් බොහෝ දුරට මරණය සිදුවේ.

*නාගයාගේ දළ හතරම එක් කොට ගෙන දෂ්ඨ කිරීමෙි අවස්ථා විරලය.

*නමුත් යම් අවස්ථාවන් වල මෙසේ සිදු විය හැකිය.

*නාග විෂට බෙහෙත් සංයුතීන් අප්‍රමානව ඇත.

*ආයුර්වෙිදයේ අගධතන්ත්‍රයේද මෙි බව දක්වා ඇත.

*මගුලේ යන්නන් දැකලා

කුඹුරේ මඩ කලල් කලා

වැස්සට පැල යට ඉදලා

නාග විසට නස්න කළා.

*මෙහි ව්‍යංගාර්ථයෙන් දක්වා ඇති බෙහෙත් වට්ටෝරැව.

*මගුලේ යන්නන් දැකලා-යනුවෙන් සඳහන් වන්නේ මගුල් කරදය.

*කුඹුරේ මඩ කලල් කලා-යනුවෙන් හදුන්වන්නේ කුඹුරැ ඇට මදය.

*වැස්සට පැල යට ඉදලා-යනු නර මුත්‍රය.

*නාග විසට නස්න කලා-මේ සියල්ල එකට ගෙන අඹරා නර මුත්‍රද එකතු කොට නස්න කල යුතුය-නස්නය යනු නාසයට බෙහෙත් දැමීමයි.

*විෂ සර්පයන් කොටස් දෙකකට බෙදිය හැකිය.

*එක් කොටසක් ඇතුල් පන්තියේ සර්පයන්බවත් තවත් කොටසක් පිට පන්තියේ සර්පයන් බවත් බෙදා දැක්වේ.

*නාගයකු ගොදුරක් අල්ලා අනුභව කල පසු එම නාගයා කෙතරම් විෂ සහිත වූවත් යමෙකුට දෂ්ඨ කලේ නමි එයින් හානියක් නැත.

*නාගයාගේ සියලු විෂ ගොදුර වෙත ගොස් අවසන් නිසා දෂ්ඨ කිරීමේදී සිදු විය හැකි අනතුර අවමය.

*එසේ නොමැත්තේනම් මෙහි ප්‍රතිපල භයානක විය හැකිය.

*සීතල බහුල පෙදෙස් වල නාගයන්ගේ විෂ යමි පමණකට අඩාල වෙි.

*උනුසුම වැඩි පෙදෙස් වල විෂ වඩාත් උග්‍ර වෙි.

*එසේ වන්නේ නමි ක්ෂණික ප්‍රතිකාර කළ යුතුය.

උපුටා ගන්න ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments