ජලය පානය කිරීමේදී ඔබ අනිවාර්යයෙන් දැන සිටිය යුතු දේවල් - Things you must know when drinking water

මිනිස් සිරුරේ 60% ක් පමණ තිබෙන්නේ ජලයයි. සමේ දිදුලන බව සහා පැහැපත් බව ආරක්ෂා වන්නේ සමේ තෙතමනය ‍රැඳී තිබීම නිසාවෙනි. එමෙන්ම නීරෝගි ශරීර ස්කන්ධයක් පවත්වාගැනීම, ශරීරයෙන් විෂ ද්‍රව්‍ය බැහැර කිරීම, අවයව සහා පද්ධති ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම, මනෝභාවයන් යහපත් කිරීම, මතක ශක්තිය වැඩිදියුණු කිරීම ආදි මිනිස් සිරුරේ පැවැත්මට බලපාන ක්‍රියාවලින් සඳහා දිනපතා හොඳින් ජලය පානය කිරීම ඉතා වැදගත් වේ. නමුත්, සිරුරට ජලය ලබාගැනීම යනු දිනකට ජලය වීදුරු 8 ක් පානය කිරීමට වඩා මනා අවබෝධයකින් හා දැනුමකින් යුතුව සිදුකල දෙයක් බව අමතක නොකල යුතුයි. සිරුරේ සජලතාව හෙවත් තෙතමනය ආරක්ෂා කරගැනීමේ අරමුණින් බොහෝ දෙනා ජලය පානය කරන ආකාරය නිවැරදි නැත. එවැනි වැරදි ක්‍රම කිහිපයක් පිලිබඳව ඔබට මෙම ලිපිය කියවීම මඟින් දැන ගැනීමට හැකි වේ.

ව්‍යායාම කල පසු ජලය පානය කිරීම.

ජිම් එකේ ව්‍යායාම කල පසු සිරුරේ සජලතාව ආරක්ෂා කරගැනීම සඳහා ජලය පානය කල යුතු බව සත්‍යයකි. එපමණක් නොව ව්‍යායාම වල නිරතවීමට පෙර සහා නිරත වන අතරතුරදීත් ජලය පානය කිරීම ඉතාමත් වැදගත් වේ. සිරුරේ ප්‍රමාණවත්ව ජලය නොතිබෙන විට, ව්‍යායාම වල නිරත වීමෙන් වැඩි දියර ප්‍රමාණයක් සිරුරෙන් පිටවිය හැකි අතර එය ඔබේ මානසික සෞඛ්‍යට මෙන්ම කායික සෞඛ්‍යට ද ඉතා හානිකර පුරුද්දක් විය හැකියි. සිරුරෙන් බැහැර වන දියර ප්‍රමාණය වෙනුවට ඔබ ලබාගත යුතු ජල ප්‍රමාණය සපුරාගැනීමට ජලය පමණක්ම පානය කිරීමට අවශ්‍ය නැත. ඒ සඳහා පොල් වතුර, කලු තේ, හරිත තේ (ග්‍රීන් ටී), පලතුරු යුෂ හෝ චොකලට් කිරි පාන වුවත් භාවිතා කල හැකියි. මෙම පාන වර්ග වලින් ද සිරුරේ තෙතමනය ආරක්ෂා කිරීම සිදුකරයි.

කෝපි සහා තේ පානයන් ජල අවශ්‍යතාව සපුරන බව නොසිතීම.

ඔබ උදෑසනම පානය කරන තේ හෝ කෝපි කෝප්පය ඔබේ සිරුරේ තෙතමනය ආරක්ෂා කරන පානයක් ලෙස කටයුතු කරයි. මේවායේ කැෆේන් අඩංගු වුවද එම පානයන් මඟින් ද දෛනික ජල අවශ්‍යතාව සපුරා ගැනීමට උපකාරී වේ. අධ්‍යනයකින් හෙලි වූ කරුණක් වන්නේ දිනකට කෝපි කෝප්ප 3-5 ක් පානය කිරීමෙන් ජලය පානය කිරීමට සමානවම මිනිස් සිරුරේ තෙතමනය ආරක්ෂා කිරීමට සමත්වන බවයි.

ලුණු ඉතාමත් අඩුවෙන් ආහාරයට ගැනීම.

ලුණු අධික ආහාර අනුභව කිරීම නිසා සිරුර විජලනයට පත්විය හැකි වුවද, සෝඩියම් මඟින් සිරුරේ ජල මට්ටම සමබරව පවත්වාගැනීමට බෙහෙවින්ම උපකාරී වේ. දහදිය හරහා සිරුරේ ඇති සෝඩියම් සහා වෙනත් අංශු මාත්‍ර මූලද්‍රව්‍ය බැහැර කිරීම සිදුකරන නිසා ජලය සහා ලුණු ද්විත්වයේම අවශ්‍යතාවය සිරුරට ඇති වේ. එබැවින් ජලය සහා ලුණු ප්‍රමාණවත් ලෙස පරිභෝජනය කිරීම ඉතා වැදගත් කරුණකි.

දිනකට ජලය වීදුරු 8 ක් පානය කිරීම.

මෙම ප්‍රචලිත මතය සැම විටම සැම දෙනාටම නිවැරදි වන්නේ නැත. ඔබේ සිරුරට අවශ්‍ය ජලය ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔහුගේ/ඇයගේ දෛනික ජීවන රටාවේ සාධක අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස පුද්ගලයාගේ කායික ක්‍රියාශීලී බව, ආහාර සහා ආහාර පුරුදු, ජීවත් වන පරිසරය, වයස ආදි සාධක ‍රැසක් බලපානු ලබයි. ඔබේ සිරුරට අවශ්‍ය ජලය ප්‍රමාණය ලීටර් වලින් දැනගත හැකි සරල සූත්‍රයක් ඇත, ඔබේ බරේ කිලෝග්‍රෑම් අගය 0.033 යන අගයෙන් ගුණ කරන්න. එහිදී ඔබට ලැබෙන්නේ ඔබ විසින් දිනකට පානය කල යුතු ජලය ලීටර් ප්‍රමාණයයි.

උදෑසන අවදි වූ පසුව පළමුව ජලය වීදුරුවක් පානය කිරීම.

රාත්‍රී නින්දේදි සිරුරෙන් ජලය ඉවත් වී යාම සිදුවේ. රාත්‍රී නින්දට පෙර කොපමණ ජලය පානය කල ද පසුදා අවදී වූ පසු අපට ඉතා දැඩි පිපාසයක් දැනීම සිදුවේ. නමුත්, සිරුරේ තෙතමනය ‍රැකගැනීම සඳහා හිස් බඩ ජලය වීදුරුවක් පානය කිරීම වඩාත්ම ඵලදායි ක්‍රමය නොවේ. ජලය සමඟ වෙනත් පෝෂකයන් බහුලව අඩංගු වන විට සිරුර තුලට පහසුවෙන් ජලය උරාගනිමින් සිරුරට අවශ්‍ය ජලය ප්‍රමාණය නැවත සපුරා ගැනිම ලෙහෙසි කාර්යක් බවට පත් වේ. එබැවින් සිරුරේ ජල ප්‍රමාණය සමබරව පවත්වාගැනීම සඳහා ජලය සමඟ යමක් ආහාරයට ගැනීම (ස්නැක් වර්ගයක්) හෝ දොඩම් පලතුරු යුෂ පානයක් හෝ කිරි විදුරුවක් පානය කිරීම වඩාත් උචිතය.

ව්‍යායාම කරන විට බෝතලයේ ජලය ඉතිරි කරගැනීමට උත්සාහ කිරීම.

ව්‍යායාම කරන අතරේදී සිරුරේ ඇති ජලය දහදිය සහා ශ්වසනය ලෙස සිරුරෙන් බැහැර වී යයි. ව්‍යායාම අතරතුරදී සිරුරේ උෂ්ණත්වය සහා රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වාගැනීම සඳහා සිරුරේ තෙතමනය ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් දෙයකි. එබැවින් ශරීර සුවතා උපදේශකයින්ගේ නිර්දේෂය වන්නේ ව්‍යායාම අතරතුරදී සෑම මිනිත්තු 10-20 කට වතාවක්ම ජලය අවුන්ස 7-10 ක් අතර ප්‍රමාණයක් අනිවාර්යෙන්ම පානය කල යුතු බවයි.

ජලය බහුලව අඩංගු එළවළු සහා පලතුරු වර්ග ජල අවශ්‍යතාව සපුරන බව නොසිතීම.

දෛනික ජලය අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා පලතුරු සහා එළවළු ආහාරයට ගැනීම ද භාවිතා කල හැකි ක්‍රමයකි. තක්කාලි, පැණි කොමඩු, පිපිඤ්ඤා ආදි ජලය සහිත ආහාර වල පොටෑසියම් ද බහුලව අඩංගුව ඇති නිසා දිගුකාලයක් පුරාවට සිරුරේ සජලතාව ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබේ. ජලය බහුලව අඩංගු වෙනත් පලතුරු වර්ග අතර ස්ට්‍රෝබෙරි, පීච් ගෙඩි, දොඩම්, ග්‍රේප් ෆෘට්, අන්නාසි, ඇපල්, මිදි වල වැඩි ජලය ප්‍රතිශතයක් අඩංගු වේ. ලෙටූස්, සැල්දිරි, සුකිනි, බ්‍රෝකෝලි ගෝවා, කැරට්, බෙල්පෙපර් ආදි එළවළු වර්ග වල ද බහුලව ජලය අඩංගු ව පවතියි.


උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments