ඔය සයිවර් කඩ අර කඩ මේ කඩවලින් කනව වගේද ගෙදරින් කනකොට 😍😋🍚🍲

 පහේ වර්ග පහක් මේ විදියට හදමු

රසට කෑමක් හදාගන්න එක මහා අමාරු වැඩක් කියල තමයි බොහෝ දෙනෙක් හිතන් ඉන්නෙ. හැබැයි හරි පදමට හදාගත්තු පහේ ටික තියෙනව නම්, ඒ පහේ දාන්න ඕන කොහොමද? කොච්චර ප්‍රමාණයක්ද කියල දන්නව නම්, මොන මොන පහේ මොන මොන කරියටද කියල දන්නව නම් උයන එක රොකට් සයන්ස් නෙවෙයි. මේ කියන්න හදන්නෙ ගෙදරදීම සුවඳට, රසට, පිරිසිදුවට පහේ ටික හදාගන්න හැටි. අමු පහේ, බැදපු පහේ විතරක් නෙවෙයි, වෙන පහේ වර්ගත් මෙතන තියෙනව. හැම හොද්දටම එකම පහේ බෝතලේ හලන්නෙ නැතුව ඒ ඒ හොද්දට ඒ ඒ පහේ වර්ග පාවිච්චි කරන්න.

 1. අමු පහේ

කිරට උයන ඕනම හොද්දකට පාවිච්චි කරන්න පුළුවන්. හාල් එක් කරන නිසා හොද්දට උකු ගතියකුත් එකතු කරනව. අමු පහේ වැඩි ප්‍රමාණයක් එකවර හදාගන්නෙ නැතුව පොඩි ප්‍රමාණ හදාගන්න. මොකද වැඩි කාලයක් තියාගනිද්දි අමු පහේ වල රස සහ සුවඳ නැති වෙනව.

අවශ්‍ය ද්‍රව්‍ය:-

කොත්තමල්ලි ඇට 500g

සූදුරු 160g

මාදුරු තේ හැඳි 2 1/2

කරදමුංගු ඇට 8

කරාබු නැටි 15

කුරුඳු අඟල් 10

සේර අඟල් 10

රම්පෙ අඟල් 8

කරපිංචා ඉති 5

හාල් තේ හැඳි 8

වියළි කහ අඟල් 1/2 කෑල්ලක්

සියළුම ද්‍රව්‍ය එකට එක්කර සුවඳ හමන ප්‍රමාණයට එනතුරු පමණක් තැටියක දමා බැදගන්න. මදක් නිවුණු පසු ග්‍රයින්ඩ් කර කුඩු කරගෙන හොඳින් නිවා බෝතල් කරගන්න.

2. බැදපු පහේ

සැරට පහේ රසට උයන පොළොස් මාළුවක්, ඌරු මස් කරියක්, සෝයා මීට් කරියක් රස ගන්වන්න මීට වඩා දෙයක් කොහෙද? බැදපු පහේ හදනකොට කුළුබඩු ටික වෙන වෙනම බැදගන්න එක අනිවාර්යයයි. එකට බදිනකොට එක එක කුළුබඩුව බැදෙන්නෙ එක එක ගාණට නිසා රස සහ පාට සමබරව තියාගන්න ඒක වැදගත්.

අවශ්‍ය ද්‍රව්‍ය:-

කොත්තමල්ලි ඇට 500g

සූදුරු 160g

මාදුරු 15g

කරදමුංගු ඇට 8

කරාබු නැටි 15

කුරුඳු අඟල් 10

සේර අඟල් 10

රම්පෙ අඟල් 8

කරපිංචා ඉති 6

සියළුම ද්‍රව්‍ය රත් කරගත් නන්ස්ටික් තැටියක වෙන වෙනම රන්වන් දුඹුරු පැහැයක් වනතුරු බැදගන්න.

මදක් නිවෙන්නට හැර ග්‍රයින්ඩරයක කුඩු කරගන්න. හොඳින් නිවුණු පසු සුළං නොවදින සේ වීදුරු බෝතලයක අසුරාගන්න.

3. මස් කරි තුනපහ 

ඕනම මස් වර්ගයක් උයාගන්න පාවිච්චි කරන්න පුළුවන්. මේ පහේ එක පාවිච්චි කරනව නම් මස් වලට අමතරව මිරිස් එකතු කරන්න අවශ්‍ය නෑ. හදල ගොඩක් කල් තියාගන්නවට වඩා අවශ්‍ය වෙලාවට හදාගන්න එකෙන් රස සහ සුවඳ උපරිමයෙන් ලබාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:-

කොත්තමල්ලි ඇට 100g

මාදුරු 100g

සූදුරු 100g

උළු හාල් 20g

කරදමුංගු ඇට 20

කරාබු නැටි 20

කුරුඳු අඟල් 4

අබ 20g

වියලි කහ අඟලක කෑල්ලක්

වියලි මිරිස් කරල් 150g

සේර අඟල් 5

කරපිංචා ඉති 6

හාල් මේස හැඳි 2

සියළුම ද්‍රව්‍ය රත් කරගත් නන්ස්ටික් තැටියක වෙන වෙනම රන්වන් දුඹුරු පැහැයක් වනතුරු බැදගන්න.

මදක් නිවෙන්නට හැර ග්‍රයින්ඩරයක කුඩු කරගන්න. හොඳින් නිවුණු පසු සුළං නොවදින සේ වීදුරු බෝතලයක අසුරාගන්න.

4. සාම්බාර් මසාලා

කඩේ රසට සාම්බාර් එකක් ගෙදරදිම කන්න ඕන නම් අමු තුනපහ බෝතලේ හලල ඒ රස ගන්න බෑ. ඒකට විශේෂිත වෙනම මසාල පව්ඩර් එකක් තියෙනව. මේ තියෙන්නෙ ඒක හදන හැටි. ඉන්දියන් රසට හදාගන්න පරිප්පුවකටත් මේ මසාල එක නියමයි.

අවශ්‍ය ද්‍රව්‍ය:-

කොත්තමල්ලි ඇට 100g

උළුහාල් තේ හැඳි 2 1/2

සූදුරු තේ හැඳි 4

ගම්මිරිස් ඇට තේ හැඳි 2

කඩල 40g

උඳු ඇට 40g

කඩල පරිප්පු 30g

වියළි මිරිස් කරල් 20

කරපිංචා ඉති 5

පෙරුම්කායම් තේ හැඳි 1/4

කහ කුඩු තේ හැඳි 1

පරිප්පු, කඩල, උඳු, සහ මිරිස් රන්වන් පැහැ වන තෙක් ගින්දර අඩුවෙන් තැටියක බැදගන්න. ඒකටම උළුහාල්, කරපිංචා සහ මිරිස් එක් කර කරපිංචා ක්‍රිස්පි ගතියට එනතුරු බැදගන්න.

අවසානයට සූදුරු එක්කර කලවම් කර, ලිපෙන් ඉවත් කරගෙන පෙරුම්කායම් සහ කහ එක් කරගන්න.

නිවෙන්නට හැර හොඳින් කුඩු කරගෙන සුළං නොවදින ලෙස බෝතලයක අසුරාගන්න.

5. ගරම් මසාලා

අසල්වැසි රටේ කෑමක් හදන්න ගත්තොත් අනිවාර්යෙන්ම ගරම් මසාලා අඩංගු වෙනවමයි. කඩෙන් ගන්නවට වඩා රසට මේ පහේ එක ගෙදර හදාගන්න පුළුවන්. මේකට ඕන ස්ටාර් අනීස්, බේ ලීෆ් එහෙම සුපිරි වෙළඳසැල් වල තියෙනව.

අවශ්‍ය ද්‍රව්‍ය:-

කොත්තමල්ලි 200g

සූදුරු 100g

ගම්මිරිස් 30g

මහදුරු 30g

කරදමුංගු 50g

කරාබු නැටි 50g

කුරුඳු අඟල් 7

බේ ලීව්ස් 7

සාදික්කා පොඩි ගෙඩි 2

ස්ටාර් අනීස් 2

වසාවාසි 6ක්

සියලුම දේවල් වෙන වෙනම පාට වෙනස් නොවී සුවඳ එන තෙක් තැටියක බැදගන්න.  නිවුණු පසු හොඳින් කුඩු කරගෙන සුළං නොවදින්න අසුරාගන්න


උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments