ලෝක විනාශය උනොත් කොහොම වෙයිද😯

මේ ලෝකේ කොයි විදියට කෙළවර වෙයිද? ඔය හොලිවුඩ් පිචර්, ටීවී සීරීස් එහෙම බලන කෙනෙක්ට නං ඒකට උත්තර සියගාණක් හොයාගන්න ඇහැකි. එක්කෝ මාරාන්තික වෛරසයක් හින්දා ඔක්කොම සොම්බියෝ වෙලා නවතී. එක්කෝ මිනිස්සුන්ගේ ගස් කැපිල්ල නිසා සොබාවදර්මේ මෙව්ව වෙලා කැරකෙන ස්පීඩ් එක රිවස් වෙලා ගිණිකඳු පුපුරලා, සුනාමි ඇවිත් ලෝකේ අවසන් වෙයි. එක්කෝ කොහේවත් යන උල්කාපාතයක් දඩෝං ගාලා ඇවිත් හැප්පිලා ඔක්කොම සුන්නද්දූලි වෙලා යයි. එහෙමත් නැත්තං කොහෙවත් ඉන්න ඒලියන්ලා සෙට් එකක් ඇවිත් දිඩි බිඩි ගාලා ලෝකෙටම කෙලලා අපිව ඉවරයක් කරලා දායි. හැබැයි මේ ඔක්කොම තියෙන්නේ ඔය විද්‍යා ප්‍රබන්ධ වල විතරයිනේ. ඇත්තටම ලෝකේ විනාස වෙන්න හැකියාවක් තියෙන්නේ කොහොමද?

මේ ලෝකේ පටන් ගැන්ම හොයන්න තියෙන උනන්දුව හා සමාන උනන්දුවක් ලෝකේ අවසානේ ගැනත් මිනිස්සුන්ට තියෙනවා කියන එක බොරුවක් නෙවෙයිනේ. ඒ හින්දම ඔය එක එක විද්‍යාඥ ගොල්ලො ඒ ගැන පරීක්ෂණ කරනවා, ඒවා මත පදනම් වෙලා අනාවැකි කියනවා. හැබැයි ඉතින් ඔය ස්ටීවන් හෝකින්ස් වගේ තද තද සයන්ස් නිගා කෙනෙක් ඔහොම අනාවැකියක් කිව්වහම අපිට පොඩ්ඩක් කකුල් සීතල වෙන්න ගන්නවා. ඇයි මේ හාදයා ඔය එක එක මැන්ටල් කාරයෝ වගේ රාවණා හීනෙන් දැකල නෙවෙයිනේ ඔය අනාවැකි කියන්නේ. මනුස්සයා කෙලින්ම විද්‍යාව මත පදනම් වෙලා තමයි දෙයක් කියන්නේ. දෙයක් කිව්වොත් ඉතින් ආයි වරදින්න තියෙන ඉඩත් සෑහෙන්න අඩුයි.

දැන් මුන්නැහේ කියනවා මේ ලෝකේ මිනිස් වර්ගයාට ඉන්න තියෙන කාලය තව අවුරුදු දාහක් විතර තමයි කියලා. දැන් ඉතින් එක්කෝ වෙන ග්‍රහලෝකෙකට යන්න බඩු පැක්කරගන්න වෙනවා, එහෙම නැත්තං මේ හාදයා ඇයි මෙහෙම කියන්නේ කියලා හොයාබලන්න වෙනවා.

1. රොබෝලා ඇවිත් අපිට ගහලා ලෝකේ අල්ලගනීවිද?

මේ වෙනකොටත් රොබෝලා ඇවිත් මිනිස්සුන්ගේ රස්සා වලින් යම් ප්‍රමාණයක් අල්ලගෙන තියෙන්නේ. හැබැයි අපි රොබෝ ආක්‍රමණයක් දැකලා තියෙන්නේ ටර්මිනේටර් වගේ පිචර් වල විතරයි. ඒත් ඒක ඇත්තටම වෙන්න බැරි දෙයක්ද?

ස්ටීවන් හෝකින්ස් නං කියන්නේ කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය කලොත් එක්කෝ ඒක හින්දා මානව වර්ගයා ගොඩෙන් ගොඩ යනවාය එහෙම නැත්තං බඩු බනිස් කරගන්නවාය කියලා තමයි. හැබැයි ඕක එලොන් මස්ක් වගේ හාදයෝ පවා කියලා තියෙන දෙයක්. නිකම්ම විද්‍යා ප්‍රබන්ධ හිතළුවකුත් නෙවෙයි, අනිවා වෙන්න පුලුවන් දෙයක්.

මේක වෙන්න පුලුවන් ක්‍රම කීපෙකුත් තියෙනවා. ප්‍රධානතම දේ තමයි ස්වයංක්‍රීය ආයුධ. ඔව්, ටර්මිනේටර් එකේ වගේ තමා. දැනට ඇත්තටම ලොකේ තියෙන විනාශකාරී ආයුධ පද්ධති ස්වයංක්‍රීයයි. ඒවා පාලනේ කරන්න කෘත්‍රිම බුද්ධියකුත් නිපදෙව්වොත් කොහොමට තියෙයිද. ආන්න ඒ නිසා හෝකින්ස්, මස්ක් සහ තව මේ ඒරියා එකේ එක්ස්පර්ට්ස් ලා රජයට ලියුමකුත් යැව්වා ගොං වැඩ කරන්න එපා හොඳේ කියලා!

කෘත්‍රිම බුද්ධියක්, රොබෝ වරු ලෝකේ පාලනේ අතට ගන්න පුලුවන් තවත් ක්‍රම තමයි මිනිසාටත් වඩා බුද්ධියෙන් එහාට යෑම. එතකොට ආයෙ තමන්ට ඕන රිසර්ච් තමන්ටම කරගන්න වුනත් ගේමක් නෑනේ. විශේෂයෙන්ම නැනෝටෙක්ටොලොජි, බයෝටෙක්නොලොජි වගේ දේවලින්ම පටන් ගනී. එහෙම නැතත් එක්කෝ මේ වගේ සුපිරි කෘත්‍රිම බුද්ධියකට පුලුවන් මිනිස්සු මිනිස්සුම කොටවලා ඉවරයක් කරලා දාන්න. එහෙම නැත්තං ඕනනං වෙළෙඳපොළ අල්ලගන්න, මුළු අන්තර්ජාලයම හැක් කරන්න වගේ වැඩ වුනත් ඒ වගේ කෘත්‍රිම බුද්ධියකට ටොයිස්!

2. කාලගුණේ වෙනස් වෙලා, සොබාවදර්මේ පිස්සු නටලා අපිට කෙලවේවිද?

මෙන්න මේ සීන් එක කතා කරනකොටත් අපිට නිකං හිතට වරදකාරී හැඟීමක් එනවනේ. ඒකට හේතුව අපි දන්නවා මිනිස්සු ස්වභාවධර්මයේ සමතුලිතතාවය තඹේකට ගණන් නොගෙන හිතුමතේ කරපු විනාශයන් හින්දා මේ වෙනකොටත් අපි දුර්විපාක විඳිනවා කියලා. කොයි තරම් අපි තාක්ෂණයෙන් දියුණු වුනත් මේ ලෝකේ කියන සංවෘත පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාස වුනොත් එහෙම කොහෙ යන්නද? සමහරු හිතාගෙන ඉන්නවා වෙන ලෝකෙකට ගිහින් බේරෙන්න. හැබැයි හෝකින්ස් උන්නැහේ කියනවා තව අවුරුදු සීයකට අඟහරු හරි වෙන සුදුසු ලෝකයක හරි මිනිස් ජනාවාස ඇති කරන එක වෙන දෙයක් නෙවෙයි කියලා. ඒ කියන්නේ මේ ඉස්සරහට එන දශක කීපය අපි හරිම පරිස්සමෙන් ජීවත් වෙන්න තමයි ඕන.

හැබැයි එකක් තියෙනවා. තව අවුරුදු දාහක් යනකොට කොහොම කළත් මේ පෘතුවියේ ඉන්න ලැබෙන්නෙ නෑ කියන එක ෂුවර් හෝකින්ස් කියන හැටියට. ඒ වෙනකොට මිනිස්සුන්ට පිස්සු කෙලින්න වෙන ග්‍රහලෝකයක් හොයාගන්න වෙනවා. නිකමට හිතලා බලන්න ලංකාව ගැන. ඇත්තටම මෙහෙම ගිනිගහන රස්නයක්, නිරන්තර ගංවතුර වගේ සීන් ඉස්සර තිබුණද ලංකාවේ?

හෙටානිද්දා අර 2012 පිචර් එකේ පෙන්නන විදියට ගිණිකඳු පුපුරලා, සුනාමි ඇවිල්ලා මුළු මිනිස් සංහතියම අතුගෑවිලා නොයන්න පුලුවන්. ඒත් ඇත්ත තත්වේ ඊටත් වඩා බයානකයි. මේ වෙනකොට අපි කාබන්ඩයොක්සයිඩ් භාවිතය අඩු කරලා තිබුණත් ගෝලීය උෂ්ණත්වය වැඩිවෙන වේගේ අඩුවෙන්නෙ නං නෑ. ඒ විතරක් නෙවෙයි. තවදුරටත් මිනිසාගේ ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතියට විතරක් නෙවෙයි, මිනිසාගේ ප්‍රබලම ප්‍රතිජීවක වලටවත් අහන්නෙ නැති විදියේ සුපිරි ලෙඩ රෝග වුනත් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුලුවන් කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. මැරිච්ච මිනිස්සුන්ව සොම්බියෝ කරන ටී-වෛරස් එකක් එන එකක් නෑ තමයි. හැබැයි ලෝක සංහාර මට්ටමේ වසංගත ලෙඩ රෝග වුනත් අනාගතේදී එන්න බැරිකමක් නෑ.

3. න්‍යෂ්ටික ආයුධ වලින් දෙපැත්තට ගහගෙන ලෝකේ සුන්නද්දූලි වෙයිද?

මෙන්න මේක ලෝකයේ බොහොම දෙනෙක් වෙන්න පුලුවන් කියලා හිතන විදියේ දෙයක්. නිකමට හිතලා බලන්න, දෙවෙනි ලෝක යුද්ධේ ඉවර කරන්න ජපානෙට දාපු න්‍යෂ්ටික බෝම්බ දෙකට කොයි තරම් මනුෂ්‍ය සංහාරයක්, විනාශයක් කරන්න පුලුවන් වුනාද? හැබැයි දැන් ලෝක බලවතුන් රහසේ සහ ප්‍රසිද්ධියේ හදලා තියෙන න්‍යෂ්ටික ආවුද දිහා බලනකොට හිරෝෂිමා නාගසාකි ඉවර කරපු ලිට්ල් බෝයි සහ ෆැට් බෝයි බෝම්බ දෙක නිකං අත්බෝම්බ වගේ. මේ වෙනකොට හදලා තියෙන න්‍යෂ්ටික ආයුධ වලට කුඩා රටවල්, දැවැන්ත නගර පිටින් විනාස කරලා දාන්න පුලුවන් බලවන්තකමක් තියෙනවා. ඉස්සරහටත් මිනිස්සු න්‍යෂ්ටික ආයුධ අත්හදා බලන්නෙ නැතුව ඉඳීවි කියන්න බැහැනේ.

ස්ටීවන් හෝකින්ස් සහ එලොන් මස්ක් පවා බය වෙන දෙයක් තමයි මේ න්‍යෂ්ටික ආයුධ වල පාලනේ ස්වයංක්‍රීය වුනොත් මොකෝ වෙන්නේ කියන එක. හැබැයි ඊලඟ ලෝක මට්ටමේ යුද්ධයක් කොතනින් හරි පත්තු වුනොත් ඔය න්‍යෂ්ටික ආයුධ ඉස්සරහට එන එකක් නෑ කියන්න පුලුවන්ද? හැබැයි කවුරුත් බයයි ඉස්සර වෙන්න. ඒකයි ලෝකේ මේ වෙනකොටත් සීතල යුද්ධ මිසක් හැබෑ ලෝක මට්ටමේ යුද්ධ නැත්තේ. ඒත් එකෙක් ඉස්සරවුනොත් ඇති.

ඇත්තටම මේ වගේ දේවල් වලක්වන්නත් නොයෙකුත් ගිවිසුම්, ප්‍රඥප්ති ඇතිකරගෙන තියෙනවා මිනිසා විසින්ම. ඔය දේවල් කොහොම වුනත් සරලවම කියන්න තියෙන්නේ එක දෙයයි. න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුනොත් පැත්තකට වෙලා ඉන්න රටවල් වලට වුනත් බේරීමක් නෑ. ලෝක මට්ටමේ විනාසෙකින් තමයි ඉවර වෙන්නේ.

4. පිටසක්වලින් ගැන්සි බැහැලා අපිට ෂොට් එක දෙයිද?

නිකමට හොලිවුඩ් චිත්‍රපටි දිහා බැලුවොත් පේන්නෙ නැද්ද ඒලියන්තලා අහසින් ඇවිත් මුළු ලෝකෙටම ෂොට් එක දීලා ලෝකේ අල්ලගන්න යනකොට මිනිස්සු මොකක් හරි දහංගැටයක් දාලා උන්ව පරද්දන ‍ෆිල්ම් අවුරුද්දෙන් අවුරුද්ද වැඩිවෙනවා කියලා? සමහරවිට ඒක මරු ටොපික් එකක් කියලා හිතාගෙන ‍ෆිල්ම් වලට ගන්නවා වෙන්න පුලුවන්. එහෙම නැත්තං මේ මිනිස්සු වැඩි දෙනෙක්ගේ හිතේ තියෙන සැකශංකාවක් වෙන්න පුලුවන්. දන්නවනේ මේ වෙනකොට ඔය කොන්ස්පිරසි තියරි කාරයෝ කියනවා කියලා මේ වෙනකොටත් ඒලියන්ස් ලා මේ ලෝකෙට ගොඩබැහැලා කියලා!

හැබැයි ඔය මනෝවිකාර කතා අත ඇරලා දාලා බැලුවත් හිතෙන්නෙ නැද්ද මේ තරං විශාල අපිට පේන විශ්වයේ වුනත් ඉන්න පුලුවන් එකම බුද්ධිමත් ජීවීන් අපි විතරක් නෙවේය කියන එක? ඒ විතරක් නෙවෙයි, දැන් ඔය ස්ටීවන් හෝකින්ස් වගේ සිරා විද්‍යාඥ ගොල්ලෝ එහෙමත් කියනවා පෘතුවියට පිටසක්වල ජීවී ආක්‍රමණයන්ට මූණ දෙන්න වෙන අවදානමක් තියෙනවා කියලා, විද්‍යාත්මක ඇහැකින් බැලුවත්. හෝකින්ස් කියන්නේ එහෙම හිතන එක සම්පූර්ණයෙන්ම තර්කානුකූලයි කියල තමයි. දැන් නිකමට හිතමු. හෝකින්ස්ම කියනවා අපිටත් තව අවුරුදු දාහක් යනකොට වෙන ග්‍රහලෝකයක් හොයාගෙන යන්න දැන්ම බඩු පැක් කරගන්න වෙයි කියලා. දැන් ඔහොම තමන්ගේ ලෝක චකබ්ලාස් කරගෙන වාසයට හොඳ ග්‍රහලෝක හොයන තව පිටසක්වලයෝ ඇතිනේ. එහෙම සෙට් එකක් මෙහාට එන්නත් බැරි නෑ, හා නැද්ද?

හැබැයි ඇත්තටම ඒ වගේ දෙයක් වෙනවා නං ඔය හොලිවුඩ් වීර කතා අපිට හිතින් අයින් කරන්න වෙනවා. නිකමට හිතන්න. සෞරග්‍රහ මණ්ඩල අතර ගමන් කරන්න තරම් දියුණු තාක්ෂණයක් තියෙන ජීවී කොටසක් පෘතුවිය අල්ලගන්න හැදුවොත් අපේ ඔය තියෙන න්‍යෂ්ටික ආයුධ පවා නිකං උණවෙඩි ගාණට වැටෙන්නෙ නැද්ද කියලා. අනෙක් අතට ඒ වගේ ලෝක පරිමාණ යුද්ධෙකට පස්සේ ආයෙමත් මනුෂ්‍ය වර්ගයාගෙන් ඉතුරු වෙන කොටසට වුනත් ගොඩ එන්න හැකි වෙයිද කියන එක ෂුවර් නැති කාරණයක්.

5. අභ්‍යවකාශයෙන් එන වෙන තර්ජනේකින් ලෝකේ කුඩු වෙලා යයිද?

දැං ඔය ඇස්ටරොයිඩ් තියෙනවනේ. ඒ කියන්නේ අභ්‍යවකාශේ පාවෙමින් එහේ මෙහේ යන ගල් කෑලි වගේ දේවල්. දැන් ඔය උල්කාපාත වදිනවා කියලා අපි අහලා තියෙන්නේ. ඒ ඔය වගේ කොහෙවත් යන ගල් කෑල්ලක් පෘතුවි ගුරුත්වය පැත්තට ඇවිත් දඩෝරියන් ගාලා ඇවිත් වදින්න පුලුවන්. සාමාන්‍යයෙන් මේවා අවුරුද්දකට දසදහස් ගණන් ඔහොම එනවා. ඒත් ඒ ගොඩක් ඒවා එක්කෝ පොළවේ ගැටෙන්න කලින් දැවිලා යනවා, එහෙම නැත්තං ඔය පොඩි වළක් හාරගෙන වැටෙනවා. හැබැයි අහලා ඇතිනේ මේ ලෝකේ හිටපු අති දැවැන්තම සත්තු වෙච්ච ඩයිනසෝරස්ලටත් වැලිගම්පිටි යන්න වුනේ ඔය වගේ කඩාගෙන වැ‍ටුණු යෝධ ඇස්ටරොයිඩයක් නිසාය කියන තියරිය? මේ වගේ විශාල ප්‍රමාණයේ ඇස්ටරොයිඩ ගැ‍ටුම් වුනත් කාලෙන් කාලෙට සිද්ධ වෙනවා. හැබැයි එහෙම නගර, රටවල් පිටින් සුන්නද්දූලි වෙලා යන සීන් නං දෙය්යන්ගෙ පිහිටෙන් තාම මිනිස් ඉතිහාසේ වෙලා නෑ. හැබැයි වෙන්න බැරිත් නෑ! ඒ වගේ සිද්ධියක් කියන්නේ ආයෙ න්‍යෂ්ටික යුද්ධයක් වගේම තමයි.

තව ඔය වගේ වෙන්න පුලුවන් දෙයක් තමයි සූර්ය ගිනිදැල් කියන්නේ. සාමාන්‍යයෙන් අර සෝලර් මැක්සිමම් කියලා කියන සූර්යයාගේ වැඩකිඩ හැම අවුරුදු 11 කටම සැරයක් අධික වෙන කාලයක් තියෙනවනේ. ඉතින් මෙතෙක් කල් ඕවා වෙලත් අපිට කිසි හානියක් වුනේ නෑනේ. හැබැයි සමහරු කියනවා අපි තාම හරි සූර්ය ගිනිදැල්ලක් දැකලා නැත කියලා. ඒ කියන්නේ න්‍යායානුකූලව ඒ වගේ දේකට පෘතුවිය ටෝස්ට් කරලා ගේම් ඕවර් කරන්න පුලුවන් කියලා.

දැන් නාසා එකෙන් කියනවා ඔය එක එකා කියන කතා විස්වාස කරන්න එපාය කියලා. ඒ කියන්නේ එහෙම දෙයක් වුනත් ඒ වගේ අති දැවැන්ත සූර්ය ගිනිදැල්ලක තියෙන දැඩි උෂ්ණත්වයට පෘතුවිය දක්වා ලඟා වෙන්න බැරිය කියලා තමයි ඒ අය කියන්නේ. හැබැයි ඉතින් විද්‍යුත් චුම්භක ට්විකුරණ සහ වෙනත් හානිකර ශක්ති කදම්භ වලට එන්න පුලුවන්. ඒත් මුලු ලෝකෙම චකබ්ලාස් වෙන විදියේ දෙයක් අපිට පේන අනාගතේ නං වෙන්න බැරිලු. හැබැයි අමතක කරන්න එපා. අපි මේ කතා කරන්නේ අවුරුදු දාහක රේන්ජ් එකේ!

6. තව වෙන්න පුලුවන් දේවල් ඕන තරං 

දැන් අපි මෙච්චර වෙලා කිව්වේ ලෝක විනාසේ සම්බන්ධයෙන් විද්‍යාඥයින්ගේ ප්‍රධාන සැක සංකාවන් තියෙන ඒරියාස් ගැනනේ. ඔයිට අමතරවත් පෘතුවිය විනාස වෙන්න පුලුවන් එක එක සීන් ගොඩක් දෙනා කියනවා. හැබැයි එක්කෝ මේ සීන් කියන්නේ කුමන්ත්‍රණ තියරි කාරයෝ තමන්ට ඕන විදියට හිතාගත්තු ෆැන්ටසි වල ඉඳලා. එහෙම නැත්තං විද්‍යාඥයෝ මේවා කිව්වත් ගොඩක් වෙලාවට ඒ විද්‍යාත්මක දත්ත වලින් පදනමක් සපයන්නේ නැතුව. ඒ වගේ කතන්දර ඉතින් අපි ඕන කෙනෙක්ට කියන්න පුලුවන්නේ ආයිබොවං. ඕන්නං මට කියත හැකි තව අවුරුදු දෙසීයක් යද්දී පොළව අභ්‍යන්තරයේ ජීවත් වෙන ගිනි යෝධයෝ කියන සෙට් එක පොළව පලාගෙන මතුවෙලා අපිව සුන්නද්දූලි කරලා දානවා කියලා. ඕන නං ඔය ස්කැන්ඩිනේවියානු මිත්‍යා විශ්වාසයක් දෙකක් එළියට ඇදලා අරන් ඒකට සපෝට් කරන්නත් පුලුවන්. ඒත් විද්‍යාත්මක පදනමක් නෑනේ.

හැබැයි මේ අතරේම අහන්න ලැබෙන සමහර කතන්දර තියෙනවා ලේසියෙන් ප්‍රතික්ෂේප කරන්න බැරි. ඒ කියන්නේ යම් කිසි විද්‍යාත්මක පසුබිමක ඉඳන් කියන ලෝක විනාස කතන්දර. ඒ දේවල් වුනත් ස්ටීවන් හෝකින්ස් මහත්තයා කියන අවුරුදු 1000ක සීමාව ඇතුලෙදි වෙන්න බැරිකමකුත් නෑ.

කොහොම වුනත් මේ කතන්දරේ අන්තිමට කියන්න තියෙන්නේ මොකක්ද? එකක් තමයි ලෝකේ විනාසේ ඉක්මන් කරන්න මිනිස්සු කරන දේවල් වහාම පාලනය වෙන්න ඕන කියන එක. මොකද අපි මේ ඉන්න පෘතුවිය විනාශ වෙලා යනවා නං අර රටක් දාලා තව රටකට යනවා වගේ, ඇඳුම් කැඩුම් පොදි බැඳගෙන ප්‍රොක්සිමා සෙන්චූරි වලට යන්න බෑනේ දොරේ. ආන්න ඒ නිසා මේ පොළව තියෙන්නේ මිනිසාගේ ප්‍රයෝජනයටය, අපිට ඕන විදියට මේවා පාවිච්චි කරන්න පුලුවන්ය වගේ ටෝක් දෙන අය පොඩ්ඩක් හිතලා බලන එක හොඳයි. කොහොමත් අර ආතර් සී ක්ලාක් මහත්තයත් කිව්ව විදියට ඕනම සංවෘත පද්ධතියක් සදාකල් පවතින්නේ නෑ, දූෂණයට ලක් වෙනවා. ඉතින් ඒ නිසා අපිටත් මේ කෙලි ඔක්කොම කරන්න තියෙන්නේ තව අවුරුදු 1000 ක් විතරය කියන එක පිළිගන්න බැරි කතාවක් නෙවෙයි.

“තමන්ගේ පය පාමුල දිහා නෙවෙයි, අහස දිහා, ඈත තියෙන තරු දිහා බලන්න මතක තියාගන්න. ඔබට පේන්නේ මොනවද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න, විශ්වය පවතින්නේ කොහොමද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. මේකට වැදගත් වෙන්නේ කුතුහලය. ජීවත් වෙන එක කොයි තරම් අමාරුයි කියලා පෙනුනත් හැමවෙලාවකම ජීවිතේ සාර්ථක කරගන්න ඔබට දෙයක් කරන්න පුලුවන් කියන එකත් මතක තියාගන්න. වැදගත්ම දේ වෙන්නේ උත්සාහය අත් නොහරින එක.”

~ ස්ටීවන් හෝකින්ස්

Post a Comment

0 Comments