බූවල්ලා පිටසකවල සතෙක්ද?

පසුගිය දිනවල අන්තර්ජාලය කැළඹූ කතාවක් ලෙස ශීඝ්‍රයෙන් පැතිරී යන ප්‍රවෘත්තියක් නම්, බූවල්ලා යනු පිටසක්වල සම්භවයක් සහිත ජීවීන් කොට්ඨාසයක් බවයි. ‘කේම්බ්‍රීය පුපුරායාම’ නමැති අවස්ථාව පදනම් කරගෙන පර්යේෂකයෝ 33 දෙනකු විසින් සනාථ කොට තිබෙනවා. මේ උපන්‍යාස වාර්තාවට අපේ රටේ විද්‍යාඥයකු වන චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ද ඇතුළත්ව සිටිනවා. කොඳු නාරටියක් නොමැති නොදියුණු සත්ව කොට්ඨාසයක් ලෙස සෙපලපෝඩා වංශික බූවල්ලා සතුව සත්ත්ව ලොව අනෙකුත් අයට වඩා සංකීර්ණ ගති පැවතුම්, හැකියාවන් දකින්නට ලැබෙනවා.

ජීවයේ බිහිවීම පිළිබඳ තවමත් විවිධ මතවාද ගොඩ නැගෙද්දී විශ්වය තුළ ගොඩනැගී තිබූ ජීවයක් මිහිපිටට පැමිණි බව, නයිට්‍රජනීය පරිසරයක අකුණු සැරයකින් ජීවය ඇරඹුණු බව, මුහුදු පතුලේ ඇති විශේෂ පීඩන හා උෂ්ණත්ව තත්ත්වයන් යටතේ බිහිවූ බව, DNA ප්‍රතිවලිතයන් නිසා එසේ බිහිවූ ජීවීන්ගේ පරිණාමය සිදුවූ බව ආදිය හරහා තවමත් විද්‍යාව තුළ එය ගැටලුවක්ව පවතිද්දී විශ්වය යනු ජෛව ගෝලයක් බවත් එහි තැනින් තැනට ජීවය විසිරෙමින් යන බවටත් මතයන් පවතිනවා. බෞද්ධ ග්‍රන්ථවල එන පෘථිවියෙහි තිබූ රස පොළොව රස විඳින්නට බ්‍රහ්මයන් නෙළුම් කුඹුවකින් බැස මෙයට වහල්ව, කය බරවී මෙහිම වෙසෙන්නට පටන්ගත් බව කියතත්, විද්‍යාත්මක කුතුහලය අනුව, එලෙස මිහිපිටට පිටසක්වලින් පැමිණියා නම්, පිටසක්වලෙහි ජීවය ඇතිවූයේ කෙසේද? යන ගැටලුව පැණ නැගෙනවා. මේ උපන්‍යාසයේ ‘කේම්බ්‍රීය පිපිරීම’ එනම්, මෙතෙක් කල් මිහිපිට ජෛව පිපිරීමකින් ජීවයේ ඇතිවූ වෙනස් කම් වෙනුවට එම පිපිරීම අභ්‍යවකාශයේ සිදුවූ බවයි පෙන්වා දෙන්නේ. ඒ අනුව, මීට වසර මිලියන 540කට පෙර හමුවූ ෆොසිල දත්ත අනුව කෝඩේටාවන්ගේ (පෘෂ්ඨයෙහි කොඳු නාරටියක් තිබූ සතුන්ගේ) අවධියේදී ධූමකේතුවකින් පෘථිවියට ආ වෛරසයක් හරහා මුල් කාලීන දැල්ලන්ව බූවල්ලන් බවට පරිණාමයවී තිබෙනවා.

මීට පෙර මේ කණ්ඩායමේම සිටි පර්යේෂකයකු විසින් 1970දී දැඩි කතාබහට ලක් කළ කල්පිතයක් වූ පැන්ස්පර්මියා උපන්‍යාසය ද මේ මෑත කාලීන උපන්‍යාසය හරහා බල ගන්වනු ලැබුවා. එයට අනුව මිහිපිට ජීවය පෘථිවිය මත ස්වාධීනව බිහි නොවූ බවත්, එය බීජ රෝපණයක් මෙන් බාහිර ලොවකින් මෙහි විවිධ කාලවලදී කිහිප වරක් පැතිරුණු බවත් පෙන්වා දෙනවා. මේ ජෛව වැපිරීමට හේතු කාරකය වන ධූමකේතු හෙවත් වල්ගා තරු වෙනත් ග්‍රහලෝකවල බිහිව පරිණාමය වුණු සාර්ථක ජීවීන් පෘථිවියට ගෙනැවිත් දමා ඇති අතර ඊට බොහෝ කාලයක් විසිය හැකි ජීවීන් එනම්, වෛරස වැනි ක්ෂුද්‍ර ජීවීන් අඩංගු විය හැකි වනවා. නව උපන්‍යාසය අනුව එලෙස පැමිණි ජීව කොටස් මිහිපිට තිබූ ඩිම්බ සංසේචනයට ද ඉවහල් වූ බව කියනවා.

බූවල්ලන්ගේ ගෙනෝමය (සෛලවල ජානමය දත්ත ගබඩාව) ප්‍රෝටීන්-කේතන 33,000ක ඉහළ තලයේ එකක් වන අතර එය හෝමෝ සේපියන්ස්ටත් (නූතන මනුෂ්‍යයින්ටත්) වඩා සංකීර්ණ මට්ටමක පවතිනවා. ඔවුන්ගේ විශාල මොළය සහ විදග්ධ ස්නායු පද්ධතිය, කැමරා වැනි ඇස්, සුනම්‍ය ශරීර, වර්ණය සහ ශරීර හැඩය වෙනස් කරමින් කරන ක්ෂණික වෙස් මාරු කිරීම් සත්ත්ව පරිණාමය තුළ හිටිවනම හටගත් ඒවායි. එසේම ඔවුන් කෙටි කාලීන උපකරණ භාවිතයට ද සමර්ථයන් වනවා. අපෘෂ්ඨවංශී ජීවියකු වශයෙන් ඔවුන් මුහුදේ ඇති පොල් කටු දෙකක් සොයාගෙන ගොස් ඒවා එක් කොට, ඇතුලට බැස ටික කාලයකට තමාට ආරක්ෂිතව විසීමට ආවරණ තනා ගන්නවා. තාපස කකුළුවන් ද තමාට විසීමට සිප්පි කටු ගෘහයන් සොයා ගත්ත ද මෙලෙස කෙටි කාලීනව උපකරණ භාවිතය දියුණු ජීවී පුරුද්දක් ලෙසයි සැලකෙන්නේ.

වාර්තාවේ එක් තැනෙක, කේම්බ්‍රීය පිපිරුම් අවධියේදී බූවල්ලන්ගේ සංසේචිත ඩිම්බයන් හෙවත් බිත්තර අයිස් වල්ගා තරුවකින් මුහුදට වැටෙන්නට ඇති බවත් එසේත් නැතහොත් පිටසක්වලින් ආ RNA මූලික වෛරස හෙවත් රෙට්‍රොවෛරස විසින් මිහිපිට සිටි මුල් අවධියේ දැල්ලන් ආසාදනය කොට ඔවුන් අපි අද දකින බූවල්ලන් බවට පත් කරන ලද බවට සඳහන් වනවා. Live Science වෙබ් අඩවිය වෙත මේ ගැන විරුද්ධ මත පළ කරන ඇමරිකාවේ පෝර්ට්ලන්ඩ් ප්‍රාන්ත සරසවියේ ජීව විද්‍යා සහ වෛරස පිළිබඳ මහාචාර්ය කෙන් ස්ටෙඩ්මන් පවසා ඇත්තේ 2015දී බූවල්ලන්ගේ ගෙනෝමය ගැන විස්තරවලින් අපූර්ව දේවල් හෙළිවූ බව සත්‍ය නමුත්, දැල්ලන්ගෙන් බූවල්ලන්ට ජානමය පරිණාමයක් සිදුවූයේ කේම්බ්‍රීය පිපිරුමෙන් බොහෝ කලකට පසුව, මීට වසර මිලියන 135කට පමණ පෙර බවයි. ඒ වගේම රෙට්‍රො වෛරසයක ආසාදනයක් සිදුවූවත් එවන් පරිණාමයක් කිරීමේ හැකියාවක් වෛරසයකට ලබන්නට නම් ඒවා දැල්ලන් විශාල වශයෙන් වාසය කරන ස්ථානයක සිට එම හැකියාව ලබාගෙන මෙහි පැමිණිය විය යුතු බවයි. මන්ද නූතන රෙට්‍රොවෛරස තමා ආසදනය කරන ජීවීන් පිළිබඳව බොහොම තෝරා බේරා ගැනීම් සිදු කරන නිසා පිටතින් ආ වෛරසයක් පෘථිවි ජීවියෙක්ට එක්වරම ප්‍රිය කිරීමට හැකියාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් අනෙකුත් ජීවීන් අබිබවා බූවල්ලන් පරිණාමය වුණු හැටි, නූතන මිනිසුන්ගේ තාක්ෂණයේ පිහිටෙන්වත් කළ නොහැකි වික්‍රමයන් සීගිරිය, මිසර පිරමීඩ වැනි පෞරාණිකත්වය සාක්ෂ්‍ය දරද්දී කිලෝ මීටර් දොළොස් දහසකටත් වැඩි ස්ථාන දෙකක් වන ඉක්වදෝරයේ සහ මෙසපොතේමියාවේ කැටයම්වල රාජාලියෙක්ගේ හිසැති එකම දෙවි කෙනෙක් සිටි බව සනාථ වීම, ලංකාවේ රන්මසු උයන ඇතුළු ලොව විවිධ ප්‍රදේශවල තාරකා දොරටු පිහිටි බව දකින්නට ලැබීම, කිරි සයුර කැළඹීම ගැන බටහිර කතා පුවත්වලද තිබීම වැනි කාරණා හමුවේ එක්තරා කාලයක් තුළ මිහිපිට ජීවීන් ක්ෂණික දියුණුවක්, ආභාෂයක් කොහෙන් හෝ ලබන්නට ඇති බව නම් නොරහසක්.

උපුටා ගන්නා ලදී..

(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments