දියවැඩියා රෝගය කල් තියා හඳුනාගත හැකි ලක්ෂණ👇💬

සිරුරේ ඉන්සියුලින් නිෂ්පාදනය කිරීමේ හෝ ප්‍රතිචාර දැක්වීමේ හැකියාවට බලපෑම් ඇතිවීම නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩිවීම දියවැඩියාව නම් වේ.දියවැඩියා රෝග ලක්ෂණ එතරම් ප්‍රබල ආකාරයේ ඒවා නොවන බැවින් බොහෝ දෙනා ඒවා වෙනත් අසනීප තත්වයක් නිසා යැයි සිතමින් නොසලකා හරිති.නිසි ලෙස ප්‍රතිකාර නොකිරීමෙන් දියවැඩියාව ආයු අපේක්ෂාව අඩු කරවමින්, පාදවල කොටස් කපා ඉවත්කිරිමට සිදුවන තරමේ සෞඛ්‍යය පරිහාණියට පත්කරවන රෝගයක් ලෙස උත්සන්න විය හැකියි.

දියවැඩියාවේ ප්‍රභේද 2 කි:එනම් පළමු වර්ගය (Type I) හා දෙවන වර්ගය (Type II). මේ අවස්ථා 2 දීම හඳුනාගත හැකි ලක්ෂණය වන්නේ සිරුරේ ඉන්සියුලින් නිෂ්පාදනය සිදුනොවීම සහා ක්‍රමවත්ව භාවිතා නොවීමයි.ඉන්සියුලින් හෝර්මෝන ප්‍රතිකාර මඟින් රුධිරයේ ඇති ග්ලූකෝස් සිරුරේ සෛල තුලට අවශෝෂණය කිරීමට උපකාරී වේ.එමඟින් රුධිරයේ ඇති සීනි මට්ටම පාලනය කෙරේ.දියවැඩියා රෝගය කල්තියා හඳුනාගැනීමෙන් ඉන් මතුවිය හැකි සංකූලතා ‍රැසක් අවම කරගත හැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි.දියවැඩියා රෝගය හා සම්බන්ධ පොදුවේ හඳුනාගත හැකි රෝග ලක්ෂණ කිහිපයක් ගැනයි පහත දැක්වෙන්නේ.

1.අධික පිපාසය හා නිතර මූත්‍රා පහ කිරීමට අවශ්‍ය වීම

අධික පිපාසය (Polydipsia) සහ නිතර මූත්‍රාකිරීම (Polyuria) යනු මෙම රෝගයේ බහුලවම හඳුනාගත හැකි රෝග ලක්ෂණ දෙකකි.දියවැඩියාව වැළඳී ඇති විට, වකුගඩු වලට සියලු අතිරික්ත සීනි අවශෝෂණය කරගැනීමට නොහැකිවීම නිසා පටක වල තරලද ඇතුලුව ඒවා මූත්‍රා වලට එක්වේ.මේ හේතුවෙන් රෝගියාට මූත්‍රා කිරීමේ අවශ්‍යතාව වැඩියෙන් දැනී සිරුර විජලනය ස්වභාවයක් දැනීයයි.එසේ දැනෙන අධික පිපාසය නිවාගැනීමට පුද්ගලයා අධිකව දියර පානය කිරීමට පෙලඹේ.මේ හේතුවෙන් නිතර මූත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය ඇතිවේ.

2.අධික බඩගින්න

අධික බඩගින්න (Polyphagia) සමඟ අධික පිපාසය හා නිතර මූත්‍රා පිටකිරීමට අවශ්‍ය වීම දියවැඩියාවේ ප්‍රධානතම ලක්ෂණ තුනකි. පුද්ගලයාගේ සිරුර ප්‍රමාණවත් ලෙස හෝ කිසිසේත්ම ඉන්සියුලින් නිපදවීම සිදුනොකරයි නම් හෝ සිරුර සාමාන්‍ය පරිදි ඉන්සියුලින් වලට ප්‍රතිචාර නොදක්වයි නම්, එය විසින් ආහාර වර්ග සෛල වලට ශක්තිය සැපයෙන ග්ලූකෝස් බවට පරිවර්තනය කිරීම සිදුකරයි.මේ හේතුවෙන් ආහාර ලබාගත් පසුවත් අඩුනොවන අධික බඩගින්නක් ඇතිවිය හැක. ආහාර ගැනීම නිසාවෙන්ම පමණක් රුධිරයේ සීනි මට්ටම වඩාත් වැඩිවිය හැකිය.කොතරම් ආහාර ගත්තද බඩගින්න අඩුනොවීමක් ඔබත් අත්දකියි නම්,වෙනත් රෝග ලක්ෂණ පහළ වී නැතත් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට කටයුතු කිරීම උචිතය.

3.තෙහෙට්‍ටුව

නිරන්තරයෙන් පවත්නා සිරුරේ තෙහෙට්‍ටුකර ගතිය දියවැඩියාවේ තවත් ලක්ෂණයකි.දියවැඩියාව වැලඳී ඇති අයෙකුට නිතර මහන්සි ගතියක් නිදිමත ගතියක් ඇතිවේ.නිතර බඩගින්න ඇතිවිමට බලපාන හේතුවම මෙහිදි බලපායි.එනම් ශක්තිය ලෙස භාවිතා කිරීමට තරම් ප්‍රමාණවත් ග්ලූකෝස් සිරුරේ සෛල වල නොපැවතීමයි.නිතර මූත්‍රා වීම නිසා සිරුර විජලනයට පත්වීම හේතුවෙන්ද සිරුරේ තෙහෙට්‍ටු ගතියක් ඇතිවීම කෙරෙහි බලපායි.කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර වේලක් ලබාගැනීම,අධික කැෆේන් පරිභෝජනය,වයස්ගත විම ආදි වෙනත් වෛද්‍යමය නොවන හේතුසාධක නිසාද සිරුරේ තෙහෙට්‍ටුකර ගතියක් දැනිම සිදුවිය හැකියි.නමුත් දියවැඩියාව රෝගය හා සම්බන්ධ වෙනත් රෝග ලක්ෂණ සමඟ මෙම තත්වය ද අත්දකියි නම් එය දියවැඩියා රෝගය ගැන ඉඟි කිරීමක් විය හැකියි.

4.පෙනීම බොඳවීම

බරපතල අක්ෂි රෝගයකින් නොපෙළෙන විට ඇස් බොඳවී පෙනීමට පටන්ගැනීම දියවැඩියා රෝගයේ පූර්ව රෝග ලක්ෂණයක් යැයි සැක කල හැක.තරල හේතුවෙන් ඇසේ කාච ඉදිමීම හා හැඩය වෙනස් වීම් සිදුවේ. මේ හේතුවෙන් අවධානය යොමුකරගෙන සිටීන්මේ හැකියාවට බාධා ඇතිවී අවට දේවල් බොඳවී අපැහැදිලි ලෙස පෙනේ.මෙම වෙනස්කම් නිසි ප්‍රතිකාර හරහා රුධිර සීනි මට්ටම ස්ථායි කරගැනීමත් සමඟ සාමාන්‍ය අතට පත්කරගත හැක.කෙසේවෙතත් දියවැඩියාවට ප්‍රතිකාර නොකර නොසලකාහැරීමෙන් මෙවැනි වෙනස්කම් වඩාත් උත්සන්න වී අන්ධතාවයට පත්වීමට වුව ද ඉඩකඩ ඇත.

5.අපැහැදිලි ලෙස සිරුරේ බර අඩුවීයාම

ආහාර පාලනයක් හෝ ව්‍යායාම සිදුනොකරම සිරුරේ බර අධිකව අඩුවීමයි මෙහිදී අදහස් වන්නේ.දියවැඩියාව වැලඳී ඇති අයෙකුට සිරුරේ ඇති ග්ලූකෝස් ශක්ති මූලාශ්‍රයක් ලෙස භාවිතා කිරීමට නොහැකිවී යාම නිසා සිරුර විසින් ශක්තිය ලබාගැනීමට මේද සහ මාංශපේශීන් දහනය කරවීමට පටන්ගනියි.මේ හේතුවෙන් සිරුරේ බර වේගයෙන් අඩුවියයි. මූත්‍රා නිපදවීමට සිරුර විසින් සියලු තරල ඒකරාශී කරගැනීම නිසා සිරුර විජලනයට පත්වීම ද එක්වරම සිරුරේ බර අඩුවීම කෙරෙහි බලපෑ හැකි තත්වයකි.අනපේක්ෂිත ලෙස බර අඩුවීම පළමු දියවැඩියා කාණ්ඩයේ පූර්ව රෝග ලක්ෂණයක් ලෙස හඳුනාගත හැක.එමෙන්ම මෙය දෙවන කාන්ඩයෙන් පෙළෙන රෝගීන් හට ද බලපෑ හැකි තත්වකි.

6.සමේ කැසිල්ල ඇතිවිම

පෙර සඳහන් කල පරිදි සිරුරේ අතිරික්ත සීනි මූත්‍රා වෙත බැහැර වන විට ඒවා සිරුරේ වෙනත් පටක වල තරල ද ‍රැගෙන යයි.ඒ අනුව සමේ පවතින තරල ද එසේ බැහැරවී යයි. එසේ සමේ තෙතමනය නැතිවීමෙන් සම වියළී ගොස් සමේ කැසිල්ල හටගත හැකියි.කැසිල්ල නිසා සම තුවාල විමට වුවත් ඉඩ ඇති අතර ආසාදන වලට පවා ලක්ව්ය හැකියි. සමේ කැසිල්ල තත්වයට බලපාන තවත් හේතුවක් නම් ඊස්ට් ආසාදනයි.මෙය දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන් අතර බහුලව දැකිය හැකි තත්වයකි.

7.තුවාල ඉක්මනින් සුවනොවීම

කැපුම් හා තුවාල ඉක්මනින් සුව නොවීම දියවැඩියා රෝගයේ පොදු මූලික ලක්ෂණයක් ලෙස සැලකිය හැකියි.ඉහළ රුධිර සීනි මට්ටමක් තිබීම තුවාල වල ප්‍රදාහය තත්වය උත්සන්න කරනවා පමණක් නොව රුධිර සංසරණ ක්‍රියාවලින් දුර්වල වීමට ද හේතුවේ. එසේ වන විට සමේ හානි වූ ප්‍රදේශ වෙත රුධිර ගමන්කරවීම හා සම අලුත්වැඩියාවට ලක්කිරිම අපහසු වී යයි. මෙය විශේෂයෙන්ම බලපාන්නේ පාද වලටයි. දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින් හට පාද වල වණ හටගැනීම බහුල වන අතර ඉන් බරපතල තත්වයන් පවා උද්ගත විය හැක.

8.සමේ අඳුරු පැල්ලම් හටගැනීම

‘Acanthosis nigricans’ යනුවෙන් හඳුන්වන මෙය සම මත වෙල්වට් ස්වභාවයක් ගන්නා අඳුරු කැලැල් හටගන්නා චර්ම ගැටලු තත්වයකි.සම නැවෙන ස්ථාන ආශ්‍රිතව මෙම කැලැල් බහුලව මතුවේ: බෙල්ලේ, කිහිළි වල, ශ්‍රෝණි ආශ්‍රිතව, වැළමිට ඇතුල්පැත්තේ, දණහිස් පි‍ටුපස සහ ඇඟිලි පුරුක් මත ආදී තැන් වල බොහෝ විට ඇතිවේ.

9.අත් වල හෝ කකුල් හිරිවැටීම හෝ ක‍ටු අනිනවාක් මෙන් දැනීම

කිසිවක් නොදැනී සම්පූර්ණයෙන් හිරිවැටීම,ඇතුලතින් ක‍ටු අනිනවාක් මෙන් දැනිම හෝ වේදනාවක් ඔබේ අත් සහ පාද වල ඇති වේ නම් මෙය ද දියවැඩියා රෝගයේ තවත් පොදු පූර්ව ලක්ෂණයකි. ඉහළ රුධිර සීනි මට්ටමක් පැවතීම රුධිර සංසරණ ක්‍රියාවලිය දුර්වල වීමට බලපාන නිසා ඒ හේතුවෙන් ස්නායු හානිවීම වැනි තත්වයන් හටගනියි.හෘදයෙන් වඩාත් පරිභාහිරව පිහිටි ශරිර අංග වන නිසා අත් සහ පාද මේ තත්වයෙන් පළමුව පීඩාවට ලක්වේ.

ඔබේ රුධිර සීනි මට්ටම නිතර පරික්ෂාවට ලක්කරගනිමින් ඔබේ සෞඛ්‍යය තත්වය ගැන සැලකිලිමත් වීමට අමතක නොකරන්න. දියවැඩියාව යනු නිදන්ගත රෝග තත්වයක් බැවින් නිසි ලෙස ප්‍රතිකාර නොකිරීමෙන් වඩාත් බරපතල සංකූලතාවන් මතුකරවීමට ඉඩ ඇත.මෙම තත්වය කල්තියා හඳුනාගන්නා තරමට එයට ප්‍රතිකාර කරමින් තත්වය වඩාත් යහපත් අතට පත්කරගැනිමට ඇති හැකියාව ඉහළය. එබැවින් මෙවැනි ලක්ෂණ ඔබ කෙරෙන් පහළ වන බවට සැක ඇති වේ නම් වෛද්‍යවරයෙකු හමුවී ඔබේ සෞඛ්‍යය තත්වය පරික්ෂාවට ලක්කරගන්න.


උපුටා ගන්නා ලදී..
(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments