පිටසක්වල ග්‍රහ පද්ධතියක් සොයා ගනී..(Found an alien planet system)

 ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ පිටසක්වළ ග්‍රහ පද්ධතියක් සොයා ගනී!

ශ්‍රී ලංකාවේ අපට ඉතාම වැදගත් ආරංචියක් ලබා දෙනා මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය අද සමත් වුණා. ඒ එම ආයතනයේ තාරකා විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මෙතෙක් නිරීක්ෂණය කර නොතිබුණු පිටසක්වළ සෞර ග්‍රහ මණ්ඩලයක් සොයා ගන්නට සමත් වුණු බවයි. මේ ලිපිය සැකසෙන්නේ ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් වුණු තොරතුරු වලට අනුවයි.
ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා 2017දී අපේ හිරු මඩලින් එපිට ග්‍රහ පද්ධති සොයා යෑම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කළා. මේ සඳහා ඔවුන් භාවිතා කළේ පිටසක්වළ ග්‍රහලෝක සෙවීමේ අරමුණින් නාසා ආයතනය විසින් අජටාකාශගත කළ කෙප්ලර් නම් විශාල දුරක්ෂය විසින් ලබා දෙන දත්ත විශ්ලේෂණය කිරීමයි. කෙප්ලර් දුරේක්ෂය විසින් තාරකා 588,991ක් පමණ ඡායාරූප ගත කර තිබෙනවා. ඉන්පසුව විශේෂ ඇල්ගොරිදම භාවිතයෙන් ප්‍රවේශමෙන් එහි ඇති ග්‍රහ පද්ධති සහිත තාරකා හඳුනා ගැනෙනවා. 2018දී මහේශ් හේරත් මහතා නවක විද්‍යාඥයෙක් ලෙස මේ පර්යේෂණය සඳහා පූර්ණකාලීනව සම්බන්ධ වුණා.
මේ තාරකා අතර තිබුණු EPIC 212 737 443 නම දරන තාරකාව විශ්ලේෂණය කණ්ඩායම, එය ග්‍රහයන් 2ක් සහිත ග්‍රහ පද්ධතියක් දරන තාරකාවක් ලෙස නිගමනය කළා. සරාජ් ගුණසේකර සහ මහේෂ් හේරත් යන දෙදෙනාට අමතරව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ගුණරත්න මහතාත්, විදේශීය රටවල විද්‍යාඥයන් 11 දෙනෙක් පමණත් අධීක්ෂණයෙන් සහාය ලබා දුන්නා. ඒ අනුව බ්‍රිතාන්‍යයේ රාජකීය තාරකා විද්‍යා සඟරාවේ ජූලි  කලාපයෙන් මේ පිළිබඳ ප්‍රකාශයට පත් කර තිබුණා. මේ වන විට ExO Planetary Archive සහ Extra Solar Planet Encyclopedia යන වෙබ් අඩවි දෙකටත් මේ තොරතුරු ඇතුළත් කර තිබෙනවා.
මේ අලුතින් සොයා ගත් ග්‍රහලෝක යුගලය ස්කන්ධයෙන් හා ගුරුත්ව බලයෙන් සමාන අගයක් ගන්නවා. එහි ගුරුත්වය පෘථිවියේ මෙන් 1.4ක් පමණ වෙනවා. ග්‍රහලෝක දෙක වටාම වායුගෝල පවතින අතර ඒවා පෘථිවි වායු ගෝලය මෙන් තුන් හතර ගුණයක් විශාල බවයි පැවසෙන්නේ. මේවායින් විශාල ග්‍රහලෝකය වන k 2 310 C, කි.මී.17,074ක පමණ විශ්කම්භයක් ගන්නවා. මතුපිට උෂ්නත්වය සෙල්සියස් 42ක් පමණ. සූර්යයා හා අප අතර ඇති දුර මෙන් 1/3ක පමණ ආසන්නයෙන් පිහිටා තියෙන මේ ග්‍රහලෝකය එය අයිති තාරකාව වටා පරිභ්‍රමණය වෙන්න දවස්65ක් ගත කරනවා. කුඩා ග්‍රහලොව වන k 2 310 B, විශ්කම්භය අතින් කි.මී. 16,437ක්. එය එහි සූර්යයාට වඩාත් ළඟින් පිහිටා තිබෙන නිසා සෙල්සියස් 265’ක පමණ උෂ්නත්වයක් දරණවා. භ්‍රමණ කාලය දවස් 13.6ක්.
මේ ග්‍රහලෝක අතරින් විශාල ග්‍රහලෝකය වන k 2 310 C පිහිටා තිබෙන්නේ සූර්යයාගේ සිට ජීවයට උචිත ආකාරයේ දුරකින්. සමහර විට ඒ මත ද්‍රව ජලය පවා පවතින්න පුළුවන්. ග්‍රහලෝක දෙක අයිති තාරකාව වන EPIC 212 737 443, සූර්යයාටත් වඩා පැරණි, තැඹිලි පැහැ තාරකාවක්. ග්‍රහලෝක දෙකේම තම තමන්ගේ භ්‍රමණ කාල සහ පරිභ්‍රමණ කාල සමාන වන නිසා හැමවිටම එක පැත්තක් හිරු දෙසට යොමු වී සහ අනෙක් පැත්ත හිරුගෙන් පිටතට යොමු වී පවතිනවා. හරියට පෘථිවිය වටේ සඳ ගමන් කරන කොට වගේ.
ශ්‍රී ලාංකික විද්‍යාඥ කණ්ඩායමක් විසින් සිදු කළ මේ අනර්ඝ සොයාගැනීම නිසා අපේ රටට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි වෙනවා. ඒ වගේම අභ්‍යවකාශය අරක් ගෙන සිටින දියුණු බටහිර රටවල් අතරට ශ්‍රී ලන්කාව වගේ ආසියාතික රටක සම්ප්‍රාප්තිය සනිටුහන් කිරීම අපිට ලොකු අභිමානයක් වෙනවා. මේ සොයාගැනීමට සම්බන්ධ සියළු දෙනාට අපි සුබ පතනවා. මේ ආරංචිය ඔබේ මිතුරන් අතරත් බෙදා හදා ගන්න..

උපුටා ගන්නා ලදී..
(මුල් අයිතිය කතෲ සතුයි)

Post a Comment

0 Comments